steps-to-include-dhamma-schools-and-dharmacharya-examinations-in-the-national-qualifications-framework

 දහම් පාසල් අවසාන විභාගය සහ ධර්මාචාර්ය විභාගය, රැකියා සඳහා සලකා බලන ජාතික සුදුසුකම් ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළේය. මෙමගින් දහම් පාසල් අධ්‍යාපනයට ලබාදෙන වටිනාකම ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.



මේ සම්බන්ධයෙන් අධ්‍යාපන කොමිෂන් සභාව වෙත නිල වශයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇතැම් ආයතන විසින් රැකියා සඳහා බඳවා ගැනීමේදී මෙම සහතික පත්‍ර සඳහා නිසි පිළිගැනීමක් ලබා නොදීම හේතුවෙන් දහම් පාසල් අධ්‍යාපනය කෙරෙහි සිසුන්ගේ උනන්දුව අඩු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය මත දරුවන් දහම් පාසල් අධ්‍යාපනයෙන් ඈත්වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බවත්, එය වළක්වා ගැනීමට මෙම පියවර අත්‍යවශ්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි.

නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලංකාවේ ජාතික පාසල් පද්ධතියේ පාසල් 10,096ක සිසුන් ලක්ෂ 40කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබයි. එහෙත්, දිවයින පුරා දහම් පාසල් 10,647ක් ක්‍රියාත්මක වුවද,

දහම් අධ්‍යාපනය සඳහා යොමු වී ඇත්තේ සිසුන් ලක්ෂ 18ක පමණ පිරිසකි.

ඒ අනුව, පාසල් සිසුන්ගෙන් ලක්ෂ 22කට ආසන්න පිරිසක් දහම් පාසල් අධ්‍යාපන පද්ධතියට ඇතුළත් වී නොමැති බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, දහම් අධ්‍යාපනයට නිල පිළිගැනීමක් ලබා දීම තුළින් මෙම තත්ත්වය වෙනස් කර සිසුන් වැඩි වශයෙන් ඒ වෙත යොමු කරවීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළේය.