“මට නින්ද ගිහින් තිබුණේ. එකපාරටම මහා සද්දයක් එක්ක ත්‍රීවීලර් එක තාප්පයක වැදුණා. අපි කෑගැහුවා. තාත්තා රියැදුරු අසුනේම වාඩිවෙලා වගේ හිටියා. මමත් නැන්දත් ත්‍රීවීලර් එක ඇතුළේ හිටියේ. අම්මාත් නංගීත් පාර අයිනේ වැටිලා හිටියා” යැයි ත්‍රිරෝද රථ අනතුරකින් මියගිය දැරියකගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ඇගේ සොහොයුරිය කීවාය.
මෙලෙස මියගොස් ඇත්තේ කටුවන, තල්වත්ත ප්‍රදේශයේ පදිංචි තල්වත්ත අභිනව කනිෂ්ඨ විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි හේවා පේදුරුආරච්චිගේ ගයුමි ලාලිත්‍යා සදෙව්මිණි නමැති සත් හැවිරිදි දැරියකි.
මෙම මරණය සම්බන්ධ මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේදී පසුගිය 16 වැනිදා එම රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදි.
එහිදී සාක්ෂි ලබාදුන් මියගිය දැරියගේ සොහොයුරිය වන හේවා පේදුරුආරච්චිගේ නෙත්මි තුෂාරා චමෝදනී (14) මෙසේ ද කීවාය.
“මියගොස් සිටින්නේ මගේ නංගී. අපේ පවුලේ තව අයියා කෙනෙක් ඉන්නවා. පසුගිය 10 වැනිදා අම්මත්, තාත්තාත්, මමත්, නංගීත්, නැන්දාත් අපේ ත්‍රිරෝද රථයෙන් ගාල්ලේ ඉන්න නැන්දා කෙනෙකුගේ ගෙදර සාදයකට යන්න කටුවනින් පිටත් වුණේ උදේ 11.00ට විතර.
ත්‍රීවීලර් එකේ ඉස්සරහ කෙසෙල් කැනක් සහ කිරි හට්ටි 20ක් පටවලා තිබුණා. තාත්තා ත්‍රිරෝද රථය පැදවූවා. අපි ඔක්කොම පිටිපස්සේ හිටියේ. මාතර මිද්දෙණිය ප්‍රධාන මාර්ගයේ මාතර දෙසට අපි ආවේ. මට නින්ද ගිහින් තිබුණා. එකපාරටම මහා ශබ්දයක් එක්ක ත්‍රිරෝද රථය හැපුණා. මට ඇහැරුණා. ත්‍රිරෝද රථය පාරෙන් එහා පැත්තට ගිහින් තාප්පයක වැදිලා තිබුණා. තාත්තා ත්‍රීවීලර් එකේ සීට් එකේම වාඩිවෙලා වගේ හිටියා. මමත් නැන්දත් ත්‍රීවීලර් එක ඇතුළේ හිටියා. අම්මාත් නංගීත් තාප්පේ අයිනේ පාරේ වැටිලා හිටියා. අම්මාගේ ඇඟ උඩ තමයි නංගී හිටියේ. මේ අනතුර සිදුව තිබුණේ නාඉම්බල ජපන් ලංකා ආයතනය ඉස්සරහදී. නංගී යන්තම් කෙඳිරිගානවා ඇහුණා. එයාගේ කන්වලින් ලේ ඇවිත් තිබුණා. එතනට එකතුවුණු කට්ටිය මාවත්, නංගීවත් වෙනත් ත්‍රීවීලර් එකක දාලා මාතර රෝහලට යැව්වා. ටිකකින් තාත්තත් අම්මත්, නැන්දත් රෝහලට ගෙනාවා. අම්මා කතා කරලා තාත්තා ගැනයි නංගී ගැනයි ඇහුවා. තාත්තා කතා කළෙත් නෑ. අම්මටයි තාත්තටයි තුවාල වෙලා තිබුණා. නංගීයි තාත්තයි හවස කරාපිටිය රෝහලට යැව්වා. අම්මා මාතර රෝහලේ නතර කරගත්තා. පස්සේ ලොකු තාත්තත් එක්ක කාර් එකේ බඩුත් අරගෙන ගාල්ලේ නැන්දලාගේ ගෙදරට ආවා. 15 වැනිදා සවස ආරංචි වුණා නංගි මියගියා කියලා”
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ සහකාර අධිකරණ වෛද්‍ය එච්.ඩී. වීරරත්න මහතාගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් ගාල්ල ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා එම මරණය සිදුව ඇත්තේ ත්‍රිරෝද රථ අනතුරින් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් යැයි තීරණය කළේය.
(කරාපිටිය - එස්. ලොකුකරවිට)
Comments
Post a Comment
Your comment will be visible after approval