
මීගොඩ, මුතුහේන වත්ත, නඳුන් උයන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ පසුගිය අගෝස්තු 13 වන දින සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු, අත් බෝම්බයක් ද සමඟ මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පන්නිපිටිය, බ්‍රාහ්මණගම ලිපිනයේ පදිංචි 38 හැවිරිදි
පුද්ගලයෙකි. මීට දින කිහිපයකට ඉහතදී මහරගම නගරයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදී, සැකකරු ගමන්ගත් යතුරුපැදිය පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් විසින් සංඥා කර ඇති නමුත් ඔහු එය නොනවත්වා පලා ගොස් ඇත. එම අවස්ථාවේදී පොලීසිය විසින් යතුරුපැදිය ලුහුබැඳ ගොස් ඇති අතර, එහිදී ප්‍රධාන සැකකරු පළා ගිය ද පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. අත්අඩංගුවට ගත් එම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී, පළා ගිය සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වන්නෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.එම තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනවලදී, පළා ගිය සැකකරු සිය නිවසේ රැඳී සිටින බවට පොලීසිය වෙත ඔත්තුවක් ලැබී තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් නිවස වටලා සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, නිවස පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ අත් බෝම්බය සොයාගෙන ඇත. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ, අගෝස්තු 13 වන දා නඳුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීම සිදුකළේ තමන් බව සැකකරු විසින් පිළිගෙන තිබේ. වර්තමානයේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශන මගින් හෙළිවී ඇත.
අත්අඩංගුවට පත් සැකකරු යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් නොවූ අයෙකු බවත්, මින් පෙර කහතුඩුව,
මත්තේගොඩ, හෝමාගම සහ කොට්ටාව යන පොලිස් බල ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සිරගතව ඇප මත නිදහස්ව සිටි අයෙකු බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. මීට අමතරව, විභාග වෙමින් පවතින මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් හෝමාගම අධිකරණය මගින් ඔහුට එරෙහිව වරෙන්තුවක්ද නිකුත් කර තිබී ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රැඳවුම් නියෝගයක් ලබා ගැනීමේ අරමුණින් සැකකරු අගෝස්තු 19 වන දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval