did-the-dig-pressure-the-police-when-his-wife-was-caught-digging-for-treasure

නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිදක ඇතුළු සැකකරුවන් පිරිසක් නිදන් හෑරූ අනුරාධපුර ශ්‍රවස්තිපුර තිබිරිගස්කඩවල දේවාලය ආසන්න ගල්තලාව සහිත ඉඩම පුරාවිද්‍යා වටිනාකමක් ඇති භූමියක් ද යන්න පරීක්ෂාකර බලා වාර්තාවක් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර වාර්තාවකින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් පිළිගනිමිනි.




නිදන් හාරමින් සිටිය දී අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරියක ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් නිදහස් කර මුදා හරින ලෙසට නියෝජ්‍ය පොලිස්තිපතිවරයකු බව කියන අයකු අනුරාධපුර පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් බලපෑම් කර ඇද්ද? යන්න අනාවරණ කර ගැනීමට සැකකරුවන්ගේ දුරකථන අංකවලට අදාළ විශ්ලේෂණ වාර්තා නොපමාව පොලිසියට ලබාදෙන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් සියලු දුරකතන සමාගම්වලට ද මීට පෙර නියෝග කරනු ලැබීය.


නිදන් හාරමින් සිටිය දී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරියක ඇතුළු සැකකරුවන් මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

මෙම සිද්ධිය සම්බන්ධයන්නේ සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටිනුයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරියක බව කියන වේයන්ගොඩ මල්වාන පදිංචි ඩී.ඒ. ඉන්ද්‍රානී කුමාරි දිසානායක, අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචි එච්. එම්. එරන්ද ඉන්දික සිරිවර්ධන, ගිරාඳුරුකෝට්ටේ පදිංචි ආර්.එම්. ගුණරත්න, දැරණියගල විද්‍යාල මාවත තිහ ගහවත්ත පදිංචි ආර්.එම්. චම්පික කුමාර, කුරුණෑගල යන්තම්පලාව පදිංචි කේ.එම්. නිලන්ත රත්නායක, පදවි ශ්‍රී තිස්සපුර පදිංචි ඊ.එම්. අනුර පද්මසිරි, වරකාපොල දම්මලදෙණිය පදිංචි අමීර් මුස්තාන් සහ බදුල්ල කරඳගහමඩආරව පදිංචි එම්. පද්මසිරි දිසානායක යන අය වෙති.




පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාගේ උපදෙස් මත නඩු කටයුතු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් වන එච්. එම්. හේරත් සහ වන්නිනායක සහ එස්. නන්දසේන යන මහත්වරුන් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුසිල් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත නීතිඥ සංජය රත්නායක මහතා පෙනී සිටියේය. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
(උපාලි ආනන්ද )