
ලොහාන් රත්වත්තේ යන නම ශ්‍රී ලංකාවේ ප්‍රකට නමකි. වයස අවුරුදු 57දී ඔහු අභාවප්‍රාප්ත වන විට, ඔහු හුදෙක් හිටපු මන්ත්‍රීවරයෙකු පමණක් නොව, රත්වත්තේ පරපුරේ අවසාන දේශපාලන නායකයා ද විය. රාජාණ්ඩු යුගයේ සිට ස්වාධීන ශ්‍රී ලංකාව දක්වා දේශපාලන බලය දැරූ මෙම ප්‍රභූ පවුලේ අවසාන පරම්පරාව නියෝජනය කළේ ඔහුය.
රත්වත්තේ පරපුරේ ඉතිහාසය දීර්ඝ එකකි. මෙම පරපුරට රත්වත්තේ මෙන්ම "ලෙව්කේ" යන වාසගම ද භාවිත කර ඇත. යාපහුව රාජධානියේ පළමුවැනි බුවනෙකබාහු රජ සමයේ පටන් ලෙව්කේ පරපුර ඉහළ තනතුරු දරා ඇත. ඔවුන් රණශූරයන් ලෙස ප්‍රකට වූ අතර, ලෙව්කේ විජයවර්ධන වාසල රාජකරුණා හේරත් මුදියන්සේ "ලෙව්කේ මැතිඳු" ලෙස හැඳින්වූ ප්‍රසිද්ධ සෙනපතියෙකි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ ඔහු සතර කෝරලේ දිසාව ලෙස සේවය කළේය.
නූතන ඉතිහාසයේ, ලෙව්කේ පරපුරේ ප්‍රකට සොහොයුරන් දෙදෙනෙකු වූයේ හැරිස් ලෙව්කේ රත්වත්තේ සහ බාන්ස් ලෙව්කේ රත්වත්තේය. බාන්ස් රත්වත්තේ බලංගොඩ මාවෙලතැන්න වලව්වේ පදිංචි විය.
ඔහු රොස්මන්ඩ් හිල්ඩා කොන්ස්ටන්ටයින් කුමාරිහාමි සරණපාල විවාහ කර ගත්තේය. මෙම යුවලගේ වැඩිමහල් දියණිය වූයේ සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක, ශ්‍රී ලංකාවේ ලෝකයේ පළමු කාන්තා අගමැතිනියය.
හැරිස් ලෙව්කේ රත්වත්තේ, 1936දී කෑගල්ල ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය. 1947දී මාවනැල්ල ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුනු ඔහු, 1961දී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය ද දැරීය. හැරිස්ගේ පුත් අනුරුද්ධ රත්වත්තේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු ලෙස සේවය කර ලුතිනන් කර්නල් නිලයෙන් විශ්‍රාම ගියේය.
ලොහාන් එමින්ද්ර රත්වත්තේ යනු අනුරුද්ධ රත්වත්තේ හා කාමන් රංගල රත්වත්තේ යුවලගේ කුළුඳුල් පුත්‍රයාය. ඔහුට චානුක සහ මහේන් නමින් සොහොයුරන් දෙදෙනෙකු සිටිති. ලොහාන්ගේ පවුල් සම්බන්ධතා ඉතා ශක්තිමත් දේශපාලන උරුමයක් සහිත විය. සිරිමාවෝ බණ්ඩාරනායක ඔහුගේ නැන්දා වූ අතර, සුනේත්‍රා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අනුර බණ්ඩාරනායක යන අය ඔහුගේ ඥාති සොයුරු සොයුරියන් විය.
ලොහාන් රත්වත්තේ, ඔහුගේ පියා මෙන්ම, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. ඔහු පාසලේ ප්‍රවීණ රග්බි ක්‍රීඩකයෙකු වූ අතර, 1987දී ත්‍රිනිටි රගර් ලයන් සම්මානය දිනා ගත්තේය. අදත් ත්‍රිත්ව විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ රත්වත්තේ පරපුරේ නමක් නොමැති වන්නේ කලාතුරකිනි.
1993දී, වයස අවුරුදු 23දී, ඔහු ඇමැන්ඩා නෙලූකා සමඟ විවාහ විය. මෙම යුවලට ලෙනායා, යොහාන් සහ යොහානා යන දරුවන් තිදෙනා සිටිති. පසුකාලීනව, ලොහාන් රශි පබා සමඟ දෙවන විවාහයට එළඹුණේය. මෑතකදී, නීති විරෝධී වාහනයක් තබාගැනීමේ චෝදනාව මත මෙම යුවල රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදු විය.
ලොහාන්ගේ පළමු විවාහයේ දියනිය යොහානා කලක් මහින්ද රාජපක්ෂගේ මද්දුම පුතු යෝෂිත සමග පෙම් සබඳතාවක්ද පවත්වා ගියේය. ඒ හසාරාගේ සම්බන්ධය බිඳුන පසුය. කෙසේ වෙතත් යොහානා ඕස්ට්‍රෙලියාවට අධ්‍යාපනය පිණිස ගිය කාලයේ යෝෂිත නඩු හබවලට පැටලී විදෙස් ගමන් තහනමකට ලක්ව සිටි අතර දෙදෙනා අතර මුණගැසීම් සීමාවී පසුව සම්බන්ධයද මේ අතරවාරයේ ඇණ හිටිණි.
ලොහාන් රත්වත්තේගේ දේශපාලන ජීවිතය ආරම්භ වූයේ 2009දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරාධනාවෙනි. ඔහු මුලින්ම මධ්‍යම පළාත් සභාවට තේරී පත් වූ අතර, 2010දී මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉහළ මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.
ඔහු රාජ්‍ය ඇමැති ධුර කිහිපයක් දැරුවේය. මුලින්ම මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරය, පසුව ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්තාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ධුරය, හා 2024 ජනවාරි මාසයේදී වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරය හෙබවීය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඔහුගේ ඥාති සොයුරිය වූවත්, ලොහාන් හැමවිටම මහින්ද රාජපක්ෂ පක්ෂයේ සිටියේය. පාර්ලිමේන්තු සභාගැබ තුළ ඔහු මහින්ද රාජපක්ෂගේ නිල නොලත් ආරක්ෂකයා ලෙස කටයුතු කළේය.
ලොහාන් රත්වත්තේ ජාතික මට්ටමේ ආන්දෝලනයට තුඩු දුන් චරිතයක් විය. පැපුවා නිව්ගිනියා ජාතික රග්බි පුහුණුකරුවෙකුට කොළඹ සමාජ ශාලාවකදී වෙඩි තැබීමේ චෝදනාවට ඔහු මුහුණ දුන්නේය.
2001 මහ මැතිවරණය පැවති දිනයේ, උඩතලවින්නේදී මුස්ලිම් වැසියන් දහදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ, ලොහාන් හා චානුක අත්අඩංගුවට ගැනුණි. කෙසේ වෙතත්, මෙම නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලදී.
2022 "අරගලය" සමයේදී, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ජනතා විරෝධතා පැවති අවස්ථාවේ, බොහෝ දේශපාලඥයින්ගේ නිවාස ඉලක්ක කරගත් ප්‍රහාර එල්ල වුවද, ලොහාන් රත්වත්තේ තම ආරක්ෂකයන් හා පිස්තෝලය සමඟ සූදානමින් සිටි බැවින් ඔහුගේ නිවසට කිසිවෙකු ප්‍රහාර එල්ල නොකළේය.
2024 ජනාධිපතිවරණයට පෙර, ලොහාන් රත්වත්තේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමා ජීවත්ව සිටින තාක්කල් අනුර කුමාර දිසානායකට ජනාධිපති වීමට ඉඩ නොදෙන බවයි. කෙසේ වෙතත්, අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසු, ලොහාන් රත්වත්තේ වාහන සම්බන්ධ චෝදනාවකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
ලොහාන් රත්වත්තේ අක්මා රෝගයකින් පෙළුණු අතර, ඉකුත් කාලයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. 2025 අගෝස්තු 15 වන දින, වයස අවුරුදු 57දී ඔහු අභාවප්‍රාප්ත විය. ඔහු අවසන් ගමන් ගියේ හිටපු මන්ත්‍රීවරයෙකු ලෙසය. කෙසේ වෙතත්, ඔහුගේ මරණය සාමාන්‍ය හිටපු මන්ත්‍රීවරයෙකුගේ මරණයක් නොවේ. රාජාණ්ඩු යුගයේ සිට රට පාලනය කළ රත්වත්තේ පරපුරේ අවසානයට පාර්ලිමේන්තුව නියෝජනය කළ චරිතය ඔහුය.
දැන් රත්වත්තේ පරපුරෙන් දේශපාලනයේ කිසිවෙකු නොමැති අතර, මව් පාර්ශවයෙන් නෑකම් කියන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද දේශපාලනයෙන් ඉවත්ව සිටී. මෙම ඓතිහාසික දේශපාලන පරපුරේ අවසානය සනිටුහන් කරමින් ලොහාන් රත්වත්තේ අපගෙන් සමුගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval