අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ගෝමස් විසින් 2022 සහ 2023 වර්ෂ සඳහා පැහැර හරින ලද රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු, දඩ මුදල් සහ ඒ සඳහා වන පොලිය අය කර ගැනීම සඳහා මහාධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත මෙම දැනුම් දීම සිදුකරන ලද්දේ පසුගිය 31 වැනිදාය.ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා රුපියල් මිලියන 194ක මුදලක් සහ ‘ලෝලියා ස්කින් කෙයා' ආයතනයේ හිමිකාරිත්වය දරන පියුමි හංසමාලි මහත්මිය රුපියල් මිලියන 225ක මුදලක් මෙලෙස බදු වශයෙන් ගෙවීම පැහැර හැර ඇති බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. අදාළ විමර්ශන ගොනු කැඳවූ අවස්ථාවේදී, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නියෝජනය කරමින් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා මෙම කරුණු ඇතුළත් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 186, 189 සහ 190 යන වගන්ති උල්ලංඝනය කරමින්, බදු පරිපාලනයට බාධා කිරීම, නිසි පරිදි බදු ගොනු නඩත්තු නොකිරීම සහ බදු ගෙවීම පැහැර හැරීම යන චෝදනා මත දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් තාඹුගල සහ හංසමාලී යන අයට එරෙහිව මෙම පැමිණිලි ගොනු කර තිබිණි. රජයට ගෙවිය යුතු බදු නොගෙවීම, බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සහ බදු ගෙවීම සඳහා ලියාපදිංචි නොවී සිටීම සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මෙම නීතිමය පියවර ගත් බව නීතිඥවරයා අධිකරණයට පැවසීය.
හිඟ බදු මුදල් සහ ඊට අදාළ දඩ හා පොලිය අය කර ගැනීමේ අරමුණින් විරංජිත් තාඹුගල සහ පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ චෝදනා ගොනු කරන බව නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අවධාරණය කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව දෙසැම්බර් 15 වන දින අධිකරණයට වාර්තා කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval