talks-with-putin-successful-ukraine-needs-a-direct-peace-agreement-trump

ඇලස්කාවේ පැවති ඉහළ පෙළේ රාජ්‍ය නායක සමුළුවකින් අනතුරුව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බවත්, යුක්‍රේන අර්බුදය විසඳීම සඳහා සටන් විරාමයකට වඩා පුළුල් සාම ගිවිසුමක් අත්‍යවශ්‍ය බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේය.

රුසියානු නායකයා සමඟ පැවති හමුවෙන් පසු යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමඟ ද තමන් දුරකථන සංවාදයක නිරත වූ බව ඔහු හෙළි කළේය.



ට්‍රම්ප් සිය 'ටෘත් සෝෂල්' සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා සිටියේ, ඇලස්කාවේ දී ජනාධිපති පුටින් සමඟ පැවති හමුව ඉතා යහපත් වූ අතර, යුක්‍රේනය සම්බන්ධයෙන් වූ සාකච්ඡා ද සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් බවයි. රුසියාව සහ යුක්‍රේනය අතර පවතින දරුණු යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර සෘජු සාම ගිවිසුමකට එළඹීම වඩාත් උචිතම ක්‍රමය බව සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය වූ බවද ඔහු සඳහන් කළේය.

මෙම නව ප්‍රවේශය තුළින් යුද්ධය සම්පූර්ණයෙන්ම නිමා කළ හැකි බවත්, බොහෝ විට අසාර්ථක වන තාවකාලික සටන් විරාම ගිවිසුම්වලින් ඔබ්බට ගිය ස්ථිර විසඳුමක් අපේක්ෂා කරන බවත් ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

වැඩිදුර සාකච්ඡා සඳහා යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ලබන සඳුදා වන විට වොෂින්ටන් නුවරට පැමිණීමට නියමිත බව ද ඔහු තහවුරු කළේය.

ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ අදහස් දැක්වූ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි, ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ පැවති සංවාදය ධනාත්මක එකක් බව පිළිගත්තේය. ඇමරිකාව, යුක්‍රේනය සහ රුසියාව අතර ත්‍රෛපාර්ශ්වික හමුවක් පැවැත්වීමේ යෝජනාවට සිය සහය පළ කළ ඔහු, යුරෝපීය නායකයින් සම්බන්ධ කර ගැනීමට පෙර මෙම සාකච්ඡා මුහුණට මුහුණ පැවැත්වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ජනාධිපති පුටින් සමඟ පැවති සාකච්ඡාවලදී බොහෝ කරුණු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවත්, නොවිසඳී ඇත්තේ සුළු කරුණු කිහිපයක් පමණක් බවත් කී ට්‍රම්ප්, කඩිනම් සාම ගිවිසුමකට එකඟ වන ලෙස තමන් ජනාධිපති සෙලෙන්ස්කිට උපදෙස් දෙන බව ද වැඩිදුරටත් කියා සිටියේය.

මෙම රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම තුළින් මිලියන සංඛ්‍යාත ජීවිත බේරා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.