please-comfort-tilwin-before-i-do-nandana-gunathilaka

තමාගේ විශ්‍රාම වැටුප කැපුවොත් මරාගෙන මැරෙන බවට පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක සතිඅන්ත. පුවත්පතකට ඒ ගැන වැඩි විස්තරය සපයා තිබේ.
ඔහු හා කළ සම්මුඛ සාකච්ඡාවක උපුටාගත් කොටසක් පහත පරිදිය.



පෙන්ෂන් එක නොදුන්නොත් මරාගෙන මැරෙනවා කියලා කිව්ව නේද?

විශ්‍රාම වැටුප අහෝසි කළාම අපේ ජීවිත සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා. මට දැන් වයස හැට තුනක්. ඇත්තටම පහුගිය කාලේ මම කරන්න රැකියාවක් හෙව්වා. රැකියාවක් හොයලා දෙන්න, රියැදුරු රස්සාවක් හරි කමක් නෑ කියලා මගේ මිතුරන්ට පවා කිව්වා. එකක් දැන් අපේ වයසත් එක්ක රැකියා දෙන්නේ නැහැ. අනික ව්‍යාපාරයක් පටන් ගන්න ප්‍රාග්ධනයකුත් නැහැ.



ඔබ කියන විදිහට මැරෙන්න ඔබ ඉන්නවනේ. එතකොට කාවද මරන්නේ?

මම මරාගෙන මැරෙනවා කිව්වෙ නෑ. ඒත් ඊළඟ දවසේ කන්න හොයා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය එද්දි මොනවද කරන්නේ? මැරෙන්න තමයි වෙන්නේ හැබැයි මම තනියෙන් මැරෙන්නේ නෑ කියලයි මම කිව්වේ. ඒක සංකේතාත්මක ප්‍රකාශයක්. කැමැති කෙනෙක් කැමැති විදිහකට හිතා ගත්තට මට ප්‍රශ්නයක් නෑ.

ඔබේ මන්ත්‍රි විශ්‍රාම වැටුප කීයද?

පෙන්ෂන් එක 68000 හම්බවෙනවා. ඒකෙන් 18000 බැංකු ණයකට කැපෙනවා. ලයිට් බිල් වතුර බිල් ගෙවන්නේ, ගෙදර කුලිය ගෙවන්නේ, බේත්හේත් ටික ගන්නේ ඉතුරු මුදලෙන්. මේ හැමදේම කළාම අතේ ඉතුරු වෙන්නේ රුපියල් හය හත්සීයක් විතරයි. මගේ වගේම බොහෝ විශ්‍රාමික මන්ත්‍රිවරුන්ගේ ඉරණම මේකයි.




දැන් ඔය පෙන්ෂන් එක නැතුව ජීවත් වෙන්න විදිහක් ඇත්තෙම නැද්ද?

පවුල ඇතුළේ තවත් සුළු ආදායම් මාර්ගයක් තියෙනවා. හැබැයි ඒ ආදායම් මාර්ගයෙන් ජීවත් වෙන්නේ මම විතරක් නෙමෙයි. පවුලක් වුණාම මොන තරම් වියදම්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

ජීවත් වෙන්නම විදිහක් නැත්තම් හිටපු මන්ත්‍රිවරුන්ටත් අස්වැසුමට අයැදුම් කරන්න පුළුවන් කියලා ආණ්ඩුවෙන් කිව්වා නේද?

ඒ කියපු මනුස්සයාට දේශපාලනය තේරෙන්නෙ නැති ප්‍රශ්නයක් තියෙනවා. 2004 මහ මැතිවරණය වෙලාවේ ඔය මනුස්සයා තඹුත්තේගම ගිහින් ටියුෂන් කර කර හිටියේ. අනුර දිසානායක ගමට ගිහිල්ලයි එක්කරගෙන ආවේ. එහෙම පක්ෂෙ දාලා ගිහින් හිටිය කෙනෙක් ඇමැතිකමට ඇවිත් අස්වැසුම දෙනවා කියලා අපිට කියනවා. ඒක මොන මෝඩ කතාවක්ද. හැබැයි ඔහුගේ දරුවොත් පුද්ගලික විශ්වවිද්‍යාලයකට යනවා කියලා පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල තිබුණා. මම ඒවා දන්නේ නෑ. පූර්ණ කාලීනව දේශපාලනය කරනවනම් වැටුප පක්ෂයට දෙනවනම් වෙන ආදායම් මාර්ගයක් නැත්නම් ළමයිව පුද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්නේ කොහොමද. එහෙනම් ඉතින් එයාටත් අස්වැසුමවත් ගන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි පක්ෂයේ යාව ජීව ලේකම්වරයාට දැන් අවුරුදු කීයද. මම හිතන්නේ හැත්තෑවකුත් වෙලා. ඒ පුද්ගලයාට අස්වැසුම අවශ්‍ය නැද්ද. මට හැට තුනයි එයාට හැත්තෑවයි. මට කලින් එයාට අස්වැසුම දෙන්න කියන්නකෝ. 

(අරුණ පුවත්පතේ - නිරෝෂා වාසල සමග කළ සාකච්ඡාව ඇසුරිනි)