
තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ සෙන්කුබ්බුස් වතුයායේ නිවෙස් ආශ්‍රිතව ගැවසෙන දිවියෙකු සුරතල් සුනඛයන් ගොදුරු කර ගැනීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකින් පසුවන බවට එම වතුයායේ කම්කරු ජනතාව පවසති. රාත්‍රී කාලයේදී වතු නිවාස ආසන්නයට පැමිණෙන මෙම දිවියා, නිවසක් ඉදිරිපිට සිටි සුනඛයෙකු රැගෙන යන අයුරු ආරක්ෂක කැමරාවක සටහන් වීමත් සමඟ ප්‍රදේශවාසීන්ගේ බිය තවදුරටත් වර්ධනය වී තිබේ.
මෙම සිදුවීමත් සමඟ රාත්‍රී කාලයේදී හදිසි අවශ්‍යතාවකටවත් නිවසින් බැහැරට යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව වතු කම්කරුවෝ පෙන්වා දෙති. සුරතල් සුනඛයන් ඇති දැඩි කරන පුද්ගලයන් තම සතුන් දිවියාගෙන් බේරා ගැනීම සඳහා විවිධ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට පටන් ගෙන ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය, හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය දැනටමත් අදාළ ප්‍රජාව සඳහා ස්ථානීය දැනුවත් කිරීමක් සිදුකර ඇත. ඉදිරි දින කිහිපය තුළ වතුයායේ සියලුම පදිංචිකරුවන් සම්බන්ධ කර ගනිමින්, දිවියන්ගෙන් සිදුවිය හැකි හානි අවම කරගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වනජීවී නිලධාරියෙක් සඳහන් කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval