
තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ ආයතන ප්‍රධානීන් වෙත මේ මස 31 වන දිනට පෙර භාර දීමට අපොහොසත් වන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තරයේ අවධාරණය කරයි. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වන වගන්තිය යටතේ මෙම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම වර්ෂයේ මාර්තු 31 වන දිනට අදාළව ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශ භාර දීමේ
අවසන් දිනය ජුනි 30 වනදා ලෙස මීට පෙර දැනුම් දී තිබුණි. කෙසේ වෙතත්, එම දිනයෙන් පසුව ප්‍රමාද වී හෝ ප්‍රකාශ භාරදෙන නිලධාරීන්ගෙන් පරිපාලන දඩ මුදලක් අය කිරීමට නියමිතය. තවමත් තම ප්‍රකාශ භාර දී නොමැති නිලධාරීන් වෙතොත්, නියම විය හැකි දඩ මුදල අවම කර ගැනීම සඳහා ඒවා කඩිනමින් තම ආයතන ප්‍රධානියාට භාර දෙන ලෙස කොමිෂන් සභාව ඉල්ලා සිටී.
ජුනි 30 වන දිනෙන් පසුව ඉදිරිපත් කරනු ලබන වත්කම් බැරකම් ප්‍රකාශ භාර ගැනීම ආයතන ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප නොකළ යුතු බවට ද අල්ලස් කොමිසම වැඩිදුරටත් දන්වා ඇත. යම් හෙයකින් ආයතන ප්‍රධානියෙකු එසේ භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් සහ බැරකම් අංශය වෙත වහාම දැනුම් දෙන ලෙසද නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval