ශ්‍රී ලංකාවේ ජාතික තහනම් උත්තේජක මර්දන ආයතනය (SLADA) සිය නීති පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, එය ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සියේ (WADA) නීතිරීතිවලට අනුකූල නොවන ආයතනයක් ලෙස නම් කර ඇති බව එම ඒජන්සිය නිවේදනය කර තිබේ. ඒ අනුව එය තහනමට ලක්ව ඇත.
ක්‍රීඩාවේදී අසාධාරණ වාසි ලබාගැනීම සඳහා කෘත්‍රිම සහ තහනම් ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ආයතනය වගකීම දරා තිබුණි.
කෙසේ වෙතත් එය වලංගු නොවන බවට නම් කළ මෙම තීරණයත් සමග, SLADA ආයතනය නැවත ස්ථාපිත කරන තුරු ශ්‍රී ලංකාවට කලාපීය, මහාද්වීපික හෝ ලෝක ශූරතා තරගාවලි පැවැත්වීමේ අයිතිය ප්‍රදානය නොකෙරෙන අතර, සංවර්ධන කටයුතු සඳහා වන WADA අරමුදල් ද අහිමි වනු ඇත.
ලෝක ඒජන්සිය නිකුත් කළ නිවේදනයට අනුව, මෙම තත්ත්වය නිවැරදි කර ගැනීමට ලබාදී ඇති මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත්, ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ඇතුළු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලිවලදී ශ්‍රී ලංකා ජාතික ධජය ප්‍රදර්ශනය කිරීම ද තහනම් වනු ඇත.
පසුගිය මාර්තු 27 වන දින, WADA ආයතනය විසින් ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ආයතනය සිය නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර, පවතින නොගැලපීම් නිවැරදි කිරීමට මාස හතරක අමතර කාලයක් ලබා දී තිබුණි. එම කාලසීමාව ජූලි 27 වන දිනෙන් අවසන් වීමෙන් පසුව, ජූලි 28 වන දින විධිමත් ලෙස නොගැලපීම පිළිබඳව දැනුම් දී, එම චෝදනාවට විරුද්ධ වීමට අගෝස්තු 18 මධ්‍යම රාත්‍රිය දක්වා දින 21ක කාලයක් ලබා දී ඇත.
නියමිත කාලය තුළ SLADA ආයතනය ඊට විරෝධය පළ නොකිරීම හේතුවෙන්, මෙම නොගැලපීම පිළිබඳ චෝදනාව පිළිගත් බවට සලකා, යෝජිත ප්‍රතිවිපාක සහ කොන්දේසි වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයංක්‍රීයව අවසන් තීරණයක් බවට පත්වන බව WADA ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි. ශ්‍රී ලංකාවට අමතරව රුසියාව, ජාත්‍යන්තර බාස්ක් පෙලෝටා සම්මේලනය සහ ජාත්‍යන්තර යෝග්‍යතා සහ කායවර්ධන සම්මේලනය ද මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval