saman-who-approved-ranils-uk-trip-also-faces-lawsuit

 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ දූත පිරිස 2023 වසරේදී සිදු කළ එක්සත් රාජධානි සංචාරය සඳහා අරමුදල් අනුමත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව නඩුවක් ගොනු කිරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය මූලාශ්‍රයක් ඊයේ (23) ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මේ පිළිබඳ වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ඉල්ලීමක් අනුව ඒකනායක මහතාගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත නියෝග කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ. ප්‍රධාන ගිණුම් නිලධාරියා ලෙස තම නිල බලය යටතේ, නිසි සත්‍යාපනයකින් තොරව පුද්ගලික සංචාරයක් සඳහා රාජ්‍ය මුදල් නිදහස් කිරීම ඒකනායක මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන්ගෙන් එකකි.

සිකුරාදා දිනයේදී අධිකරණයට 'බී' වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ,

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඒකනායක මහතාගෙන් තවදුරටත් සාක්ෂි සටහන් කර ගැනීමට අවශ්‍ය විය හැකි බවයි. ඔහු විදේශගත වුවහොත් පොලිස් පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල විය හැකි බැවින්, ආගමන විගමන පාලකවරයාට ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මේ අතර, 'බැඳුම්කර වංචාව' සම්බන්ධයෙන් ක්‍රියාත්මක නීතිමය ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද එම රාජ්‍ය මූලාශ්‍රය සඳහන් කළේය. එහි ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදන්ව සිටියද, ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට කටයුතු කරන බව එම මූලාශ්‍රය අවධාරණය කළේය. එම සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයාට එරෙහිවද සාක්ෂි මතු වී ඇති බවත්, ඒවාද අධිකරණයට ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් වාර්තා වේ.