it-was-discovered-that-the-fake-mothers-who-brought-the-students-who-had-cut-school-and-gone-on-patrol-to-the-police

පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ මවුවරුන් ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ඔවුන්ව පොලිසියෙන් මුදා ගැනීමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකු කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දේවාලේගම, හැලමඩ සහ ඉඹුල්ගස්දෙණිය යන ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනෙකි.



මෙම සිදුවීමට මුල් වී ඇත්තේ, පෙරේදා (19) දින කෑගල්ල, නිදහස් මාවතේ පිහිටි පොදු වැසිකිළියක් තුළදී වයස අවුරුදු 17ක පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු තම නිල ඇඳුම් මාරුකර සිවිල් ඇඳුමින් සැරසී පිටතට පැමිණීමයි.

අනතුරුව, එම ස්ථානයේ රැඳී සිටි තරුණයන් දෙදෙනෙකු සමඟ ඔවුන් ගමන් කරන අයුරු දුටු ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳව කෑගල්ල පොලිසිය දැනුවත් කර ඇත.

කෑගල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ළඟා වන විට තරුණයන්ගෙන් එක් අයෙකු පලා ගොස් ඇති අතර, අනෙක් තරුණයා සහ ශිෂ්‍යාවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ස්ථානය වෙත රැගෙන විත් තිබේ.



පොලිසියේදී, ශිෂ්‍යාවන්ට තම දෙමව්පියන් කැඳවන ලෙස දැනුම් දුන් නමුත්, ඔවුන් දෙදෙනා තම සැබෑ මවුවරුන්ට දැනුම් නොදී ඥාතිවරියන් දෙදෙනෙකු යයි කියන වෙනත් දෙන්නෙකුට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත. මවුවරුන් ලෙස පෙනී සිටි මෙම ඥාතිවරියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳව සැක සිතූ පොලිස් නිලධාරීන්, සත්‍ය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

අන් අයෙකු ලෙස පෙනී සිටීමේ චෝදනාව මත එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර, පසුව ශිෂ්‍යාවන්ගේ සැබෑ මවුවරුන් පොලිසියට ගෙන්වා කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව දරුවන් ඔවුන් වෙත භාර දෙන ලදී. අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (20) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.