
"සීහෙළ ගෞතම සිරි සම්බුද්ධ" නමින් අලුතින් පිහිටුවාගත් සංවිධානය ශාසන විරෝධී කණ්ඩායමක් බවට ප්‍රකාශ කළ ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරු, එමඟින් සිදුකරන ධර්ම විනය විකෘති කිරීම් වැළැක්වීමට ශාසනික මෙන්ම නෛතිකවද පියවර ගන්නා බව අවධාරණය කරති. මල්වතු මහා විහාරයේදී පසුගිය 19 වන දා පස්වරුවේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන්හි ලේඛකාධිකාරී නාහිමිවරු මෙම අදහස් පළ කළහ.
එහිදී කරුණු පැහැදිලි කළ මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමියෝ,
මෙම නව සංවිධානය විසින් සිදුකරන ලදැයි කියන උපසම්පදා විනය කර්මයක්, අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් රැවටීමෙන් සිදුකළ වංචනික ක්‍රියාවක් බවට එම විහාරාධිපති හිමියන් විසින්ම ලිඛිතව දැනුම් දී ඇති බව හෙළිදරව් කළහ. එබැවින් එම උපසම්පදා කර්මය ධර්ම විනය විරෝධී මෙන්ම ශාසනික සම්ප්‍රදායට ද පටහැනි බව උන්වහන්සේ පෙන්වා දුන්හ. මෙවැනි ළාමක මතවාද පිළිගැනීමෙන් වළකින ලෙසත්, එම ක්‍රියා ශාසනික පරිහානියට මෙන්ම රටේ ස්වෛරීත්වයටද හානිකර බවත් උන්වහන්සේ ජනතාවට දැනුම් දුන්හ.
විනය විරෝධී භික්ෂූන් සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා නීතිමය බලතල ලබාගැනීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියෝ, දැනට බලපැවැත්වෙන විහාර දේවාලගම් පනතේ 41 සහ 42 යන වගන්ති සංශෝධනය කරන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පසුගිය සහ වත්මන් රජයන්ගෙන් මෙන්ම ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා ඇති බව ප්‍රකාශ කළහ. එම සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කර දෙන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බළපිටියේ සිරි සීවලී නාහිමියෝ, ඇතැම් භික්ෂූන් ශාසනයට අනුලෝම නොවන මත සමාජගත කිරීම සඳහා ජනමාධ්‍ය භාවිත කරන බව පෙන්වා දෙමින්, එවැනි කල්ලි කණ්ඩායම්වල ප්‍රකාශවලට වඩා ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ උපදෙස් මත ක්‍රියාකරන ලේඛකාධිකාරී හිමිවරුන්ගේ ප්‍රකාශවලට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කළහ.
ශාසනයට නොගැළපෙන ලෙස හැසිරෙන භික්ෂූන් නිකායෙන් පමණක් නොව සමස්ත සංඝ සමාජයෙන්ම නෙරපා හැරීම තම උත්සාහය බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරී අත්තංගනේ ශ්‍රී සාසනරතන නාහිමියෝ මෙහිදී වැඩිදුරටත් පැවසූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval