ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සැප්තැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම සංචාරයේ පළමු අදියර ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකාව බලා පිටත්ව යනු ඇත.
සැප්තැම්බර් 24 වැනි දිනට නියමිත එම සැසිවාරය අමතන ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රජයේ නව විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ලෝක නායකයන් දැනුවත් කිරීමට නියමිතය. එමෙන්ම, සැසිවාරය අතරතුරදී රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟද ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
ඇමරිකානු සංචාරයෙන් අනතුරුව, ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතාගේ නිල ආරාධනයකට අනුව සැප්තැම්බර් 27 වන දින ජපානයේ ඔසාකා නගරය වෙත ළඟා වනු ඇත. එහිදී සැප්තැම්බර් 29 වන දින ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ ද, සැප්තැම්බර් 30 වන දින ජපානයේ නරුහිතෝ අධිරාජයා සමඟ ද ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.
මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලාංකිකයන් සඳහා ජපානය තුළ වැඩි රැකියා අවස්ථා තහවුරු කර ගැනීම සහ දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි. තවද, ජනාධිපතිවරයා ජපානයේ පැවැත්වෙන 'එක්ස්පෝ 2025' ලෝක ප්‍රදර්ශනයට සහ එහි 'ශ්‍රී ලංකා දින සැමරුමට' ද එක්වනු ඇත. මීට අමතරව, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවී සාකච්ඡා කිරීමට ද ජනාධිපතිවරයා කාලය වෙන්කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval