petition-to-give-india-the-power-to-issue-digital-id-cards-in-sri-lanka

 ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට ඉන්දියාව සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. සමාජ ක්‍රියාකාරිනියක වන අමානි රිෂාඩ් හමිඩ් විසින් ගොනු කර ඇති මෙම පෙත්සම මගින්, අදාළ ගිවිසුම සහ එය සංශෝධනයට අදාළව ගත් කැබිනට් තීරණ දෙකක් බලරහිත කරන ලෙස ඉල්ලා ඇත.



2022 වසරේදී අත්සන් තැබූ මෙම ගිවිසුම සංශෝධනය කිරීම සඳහා පසුගිය ජනවාරි 27 සහ ජූනි 02 යන දිනවලදී කැබිනට් මණ්ඩලය විසින් තීරණ ගෙන ඇති බව පෙත්සමේ දැක්වේ.

මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කිරීමකින් තොරව මෙම තීරණ ගෙන ඇති බවට පෙත්සම්කාරිය චෝදනා කරයි.

මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජෛව දත්ත ඇතුළු පෞද්ගලික තොරතුරු ඉන්දියාව අතට පත්විය හැකි බවත්, එය රටේ ස්වෛරීභාවයට හානිකර මෙන්ම විදෙස් රටක මැදිහත්වීම් සඳහා ඉඩ සලසන්නක් බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව, අදාළ ගිවිසුම සහ කැබිනට් තීන්දු බලරහිත කොට, සමස්ත ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියම ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය හරීණි අමරසූරිය මහත්මිය සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු 27 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.