යෞවන සමාජ නිලවරණ පරාජයෙන් කෝපයට පත් සුළු පිරිසක් මාධ්‍ය හරහා අනවශ්‍ය කලබලකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුව යටතේ යෞවන සමාජ දේශපාලන ග්‍රහණයෙන් මුදාගෙන, සැබෑ දක්ෂතා ඇති තරුණ තරුණියන්ට නායකත්ව අවස්ථා ලබාදීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. පසුගිය පාලන සමයේ යෞවන සමාජ දේශපාලනඥයන්ගේ දරුවන්ට සහ හිතවතුන්ට දේශපාලන වේදිකා සකසා දෙන තෝතැන්නක්ව පැවති බවත්, 'අර බළකාය', 'මේ බළකාය' වැනි විවිධ නම් යටතේ ඒවා දේශපාලනීකරණය කර තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
අතීතයේදී ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය වැනි ජාත්‍යන්තර තරුණ අවස්ථා සඳහා පවා, තරුණ කෝටාව යටතේ මහින්ද කහඳගම වැනි දේශපාලන ක්‍රියාකාරීන් යොමු කළ බවටද අමාත්‍යවරයා චෝදනා කළේය.
රජයේ අරමුණ වී ඇත්තේ ග්‍රාම නිලධාරී වසම් 14,000 පුරා විනිවිදභාවයකින් යුත් නිලවරණ පවත්වා යෞවන සමාජ ජාලය ශක්තිමත් කිරීම බව වෛද්‍ය ජයතිස්ස මහතා පැවසීය. මෙම ක්‍රියාවලිය ග්‍රාමීය මට්ටමින් ආරම්භ වී, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ තරුණ සේවා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය මට්ටමේ නිලවරණ රහස් ඡන්දයෙන් පවත්වන බවද ඔහු සඳහන් කළේය. ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමේ නිලවරණ පැවැත්වෙන අතර, මේ වන විට දිස්ත්‍රික්ක ගණනාවක එම ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර ඇති බවද කියා සිටියේය.
කෙසේ වෙතත්, මෙම නිලවරණ ක්‍රියාවලියට විරෝධය පාමින් ඇතැම් දිස්ත්‍රික්කවල උණුසුම්කාරී තත්ත්වයන් වාර්තා වී තිබේ. කළුතර, අනුරාධපුර, සහ ගම්පහ වැනි ප්‍රදේශවල පැවති දිස්ත්‍රික් යෞවන සමාජ නිලවරණ අවස්ථාවලදී, දේශපාලන මැදිහත්වීම් සිදුවන බවට චෝදනා කරමින් ඇතැම් යෞවන සමාජ සාමාජිකයින් විරෝධතාවල නිරත විය. මෙම තත්ත්වය පිළිබඳව විපක්ෂ නායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කර තිබුණි.
මෙම විරෝධතාකරුවන් යනු නිලවරණවලට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීමට නොහැකි වූ සුළු කණ්ඩායමක් බවත්, ඔවුන්ගේ විරෝධතා මගින් ඔවුන්ගේ සැබෑ ජනතා පදනම හඳුනාගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය. දේශපාලන බලයක් නොමැති, අවංකව වැඩ කිරීමට කැමති තරුණ තරුණියන්ට අවස්ථාව ලබාදීම සඳහා යෞවන කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා කැපවීමෙන් කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval