facility-to-change-service-network-without-changing-phone-number-from-next-year

පාරිභෝගිකයින්ට සිය දුරකථන අංකය වෙනස් නොකර, තමන් කැමති සන්නිවේදන ජාලයක් වෙත මාරු වීමට අවස්ථාව සලසන ‘නම්බර් පෝටබිලිටි’ (Number Portability - NP) සේවාව ලබන වසරේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) තහවුරු කරයි. මෙම සේවාව ක්‍රියාවට නැංවීම සඳහා මේ වන විටත් පියවර කිහිපයක් ගෙන ඇති බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



මෙම සේවාව ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය කිරීමේ මූලික පියවරක් ලෙස, මෙරට සියලුම ස්ථාවර සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගේ ඒකාබද්ධ සහභාගීත්වයෙන් ‘ලංකා නම්බර් පෝර්ටබිලිටි සර්විසස් (ගැරන්ටි) ලිමිටඩ්’ නමින් නව සමාගමක් පිහිටුවා ඇත. එම සමාගම වෙත මෙම සේවාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නිල බලපත්‍රය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ප්‍රදානය කර ඇති අතර, සේවාවට අදාළ රීති සහ මාර්ගෝපදේශ මාලාව සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියද මේ වන විට හිමිවී තිබේ.

මෙම ක්‍රියාවලිය ආරම්භ කරමින්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පළමුව දුරකථන ක්‍රියාකරු සමාගම් සමඟ පුළුල් සාකච්ඡා පවත්වා සවිස්තරාත්මක සැලැස්මක් සකස් කරන ලදී. පසුව, 2021 වසරේදී මහජන උපදේශන පත්‍රිකාවක් නිකුත් කරමින්, මෙම සේවාව සම්බන්ධයෙන් පාරිභෝගිකයින්, ක්‍රියාකරුවන් සහ අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමටද කටයුතු කෙරිණි.

සුදුසු තාක්ෂණික ආකෘතිය තෝරාගනු ලැබුවේ එම සාකච්ඡා සහ ප්‍රතිපෝෂණ සැලකිල්ලට ගනිමිනි.

මෙම සේවාව මහජනතාව වෙත විවෘත කිරීමට පෙර, මධ්‍යගත පද්ධතිය ස්ථාපනය කිරීම සහ එක් එක් දුරකථන ක්‍රියාකරු සමාගම්වලට අයත් ජාල තාක්ෂණිකව වැඩිදියුණු කිරීම වැනි අවසන් අදියරේ කටයුතු සම්පූර්ණ කළ යුතුව ඇත. එම තාක්ෂණික කටයුතු අවසන් වූ වහාම සේවාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත්, එය පාරිභෝගික භාවිතය සඳහා සූදානම් වූ පසු ඒ පිළිබඳව නිල වශයෙන් මහජනතාව දැනුවත් කරන බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරයි.