locally-made-gas-stoves-caught-selling-counterfeit-foreign-labels

 විදේශයක නිෂ්පාදනය කළ බවට ව්‍යාජ ලෙස ලේබල් ගසමින්, මෙරටදී එකලස් කරන ලද ප්‍රමිතියෙන් තොර ගෑස් උදුන් තොගයක් අලෙවි කිරීමට සූදානම් කළ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ. එහිදී, වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ගෑස් උදුන් 3,000ක් පමණ අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.



පාරිභෝගික අධිකාරියට ලැබුණු තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදී අනාවරණය වී ඇත්තේ, අදාළ ව්‍යාපාරිකයා විසින් ගෑස් උදුන් කොටස් වශයෙන් ආනයනය කර, ද

ේශීයව සපයාගත් තවත් කොටස් ද යොදා ගනිමින් මෙහිදී එකලස් කර ඇති බවයි. පසුව, පාරිභෝගිකයා නොමඟ යවමින් ඒවා විදේශීය නිෂ්පාදනයක් ලෙස පෙන්වීම සඳහා ඇසුරුම් සහ ලේඛන ද දේශීයවම මුද්‍රණය කර තිබේ. තම ව්‍යාපාරයේ නීත්‍යානුකූලභාවය සනාථ කිරීමට කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට ද අදාළ ව්‍යාපාරිකයා වැටලීම සිදුකළ අවස්ථාවේදී අපොහොසත් වී ඇත.

ශ්‍රී ලංකාවට ගෑස් උදුන් ආනයනය කිරීමේදී, ඒවායේ ආරක්ෂාව සහ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLS) මගින් ක්‍රියාත්මක කරන අනිවාර්ය ආනයන පරීක්ෂණ ක්‍රමවේදයකට යටත් කළ යුතුය. එහෙත් මෙම ව්‍යාපාරිකයා එම නීතිමය ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මඟ හරිමින්,

කිසිදු ප්‍රමිතියක් තහවුරු නොකළ උදුන් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

වැටලීමෙන් අනතුරුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. අධිකරණ නියෝග මත අදාළ ගබඩාවට මුද්‍රා තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.