large-scale-ilmenite-deposit-in-aruwakkaluwa-which-was-being-operated-without-permission-is-being-raided

 වනාතවිල්ලුව, අරුවක්කාලු ප්‍රදේශයේ, විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි අධි සංවේදී පාරිසරික කලාපයක බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය මහා පරිමාණ ඉල්මනයිට් සේදීමේ ව්‍යාපෘතියක් වටලා රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමකින් යුත් යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ තොගයක් පොලිස් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සමත් වී තිබේ.



මෙම නීති විරෝධී කටයුත්ත ක්‍රියාත්මක කර ඇත්තේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත බවට හඳුනාගෙන ඇති රජයට අයත් ඉඩමක වන අතර, භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් අවශ්‍ය නීත්‍යානුකූල අනුමැතියකින් තොරව ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ සම්පත් සැකසීම සහ ගබඩා කිරීම මෙහි සිදුකර ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී ඇත.



අදාළ භූමිය රජයේ ඉඩමක් වන අතර, මීට පෙර සිමෙන්ති නිෂ්පාදනය සඳහා හුණුගල් ලබාගැනීමේ අරමුණින් විදේශීය සමාගමකට බදු පදනම මත ලබා දී තිබූවකි. පසුව 2013 වසරේදී, 'ඉලුකා ලංකා රිසෝසස්' නම් ඕස්ට්‍රේලියානු-ශ්‍රී ලංකා හවුල් සමාගමක් මෙම භූමියේ ඉල්මනයිට් ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ.

2019 පාස්කු ප්‍රහාරය සහ අනතුරුව ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම ඕස්ට්‍රේලියානු සමාගම මෙරටින් ඉවත්වීමෙන් පසු, 'පුත්තලම ඉල්මනයිට්' නමැති දේශීය සමාගමක් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ගවේෂණ බලපත්‍රයක් මත පර්යේෂණ සිදුකර ඇත. එම පර්යේෂණ මගින් මෙම භූමියේ ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ නිධි පවතින බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව කැණීම් සඳහා බලපත්‍ර ඉල්ලා ඇතත්, එම ඉල්ලීමට අනුමැතිය හිමි වී නැත.

මෙම පසුබිම යටතේ, රාජ්‍ය සමාගමක් සමග ආන්දෝලනාත්මක ගිවිසුමකට එළඹුණු තවත් පෞද්ගලික සමාගමක්, භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් කිසිදු බලපත්‍රයක් හෝ අවසරයක් නොලබා මෙම භූමියේ ඉල්මනයිට් සැකසීමේ කටයුතු ආරම්භ කර ඇති බවට හෙළිදරව් වී තිබේ.



ඒ සඳහා ඔවුන් විසින් මහා පරිමාණ ජලාශ දෙකක් ඉදිකර ඒවාට ජලය පුරවා ඇති අතර, තවත් ජලාශ තුනක් ඉදිකිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව වැටලීම සිදුකළ නිලධාරීහු පවසති. මෙම ක්‍රියාවලිය හේතුවෙන් විල්පත්තු අභය භූමියට යාබද මෙම සංවේදී පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුවෙමින් පවතින බවද වාර්තා වේ.

වැටලීමට ලක්වූ මෙම භූමිය පුරා ඉල්මනයිට් ඇතුළු ඛනිජ ද්‍රව්‍ය තට්ටුවක් පැතිර පවතින අතර, ඊට යටින් හුණුගල් සහිත පස් ස්තරයක් පිහිටා ඇත. විල්පත්තු වනාන්තරයේ සැරිසරන අලි ඇතුළු වන සතුන් නිරන්තරයෙන් මෙම ප්‍රදේශයේ ගැවසෙන බවටද නිරීක්ෂණය වී තිබේ.



මෙම භූමියේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමද ඉහළ මට්ටමක පවතී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රණසිංහගේ ප්‍රධානත්වයෙන් 2018 වසරේ සිදුකළ සමීක්ෂණයකදී, මෙහි ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිත කළ ගල් ආයුධ සහ මෙවලම් හමුවී ඇත. එම සොයාගැනීම් පදනම් කරගනිමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම භූමිය පුරාවිද්‍යා උරුමයක් ලෙස ලේඛනගත කර ප්‍රකාශයට පත්කර තිබියදී, මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතියකට ඉඩදීම තුළින් බරපතළ අක්‍රමිකතාවක් සිදුව ඇති බවට කරුණු හෙළිදරව් වෙමින් පවතී.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.