බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුට අයත් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රන් මාලයක් සහ පෙන්ඩනයක් රෝහලේ වෛද්‍ය විවේකාගාරයේ තිබියදී සොරකම් කර ඇතැයි බොරැල්ල පොලිසිය වාර්තා කරයි. පවුම් හතරක් බරැති මෙම රන් ආභරණය සොරා ගැනීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
රාජගිරියේ පදිංචි 30 හැවිරිදි මෙම වෛද්‍යවරයා රෝහලේ 9ඒ වාට්ටුව භාරව සේවය කරන අතර, සිය රාජකාරි දිනය නිමවීමෙන් අනතුරුව පහළ මාලයේ පිහිටි වෛද්‍ය විවේකාගාරය වෙත ගොස් ඇත. එහිදී ඔහු සිය ගෙල පැළඳි රන් මාලය ගලවා ගමන් මල්ලක ඉදිරිපස සාක්කුවේ දමා සිපරය වසා තිබේ.
පසුව නාන කාමරයට ගොස් නැවත වාට්ටුවට ගොස් රෝගීන් පරීක්ෂා කර පැමිණ විවේකාගාරයේ නින්දට ගොස් ඇති වෛද්‍යවරයා, පසුදින රාජකාරි සඳහා පිටත්ව යාමට සූදානම් වීමේදී රන් මාලය පැළඳීමට බැලීමේදී එය බෑගය තුළ නොවූ බව දැක තිබේ. කිසියම් අයෙකු විසින් එය සොරකම් කර ඇති බවට ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval