it-is-revealed-how-superintendent-of-police-satish-rajan-supported-the-underworld-by-suppressing-complaints-received-by-119

 සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ (14) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල සහ ඇඹිලිපිටිය කොට්ඨාස භාරව සිටි, දැනට පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රාජන් හියාරේ ගමගේ නමැත්තාය.



පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 වෙත මහජනතාව ලබාදෙන පැමිණිලි යටපත් කරමින් විත්තිකරුවන්ට සහන සැලසීමට ද සැකකරු මුදල් ලබාගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට කරුණු වාර්තා කළේය. සැකකරු මෙම අල්ලස් මුදල්, වෙනත් පුද්ගලයෙකුගේ නමින් විවෘත කරන ලද බැංකු ගිණුම් තුනකට බැර කරවාගෙන ඇති බවත්, එම ගිණුම්වලට මුදල් තැන්පත් කිරීම සඳහා සිය ආරක්ෂක පොලිස් කොස්තාපල්වරයා සහ රියදුරු යොදාගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

මෙම මූල්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය. ඔවුන්ගේ ජංගම දුරකථන පණිවිඩ ඔස්සේ තොරතුරු හෙළිවූ අනුර නානායක්කාර නමැති පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී, අදාළ බැංකු ගිණුම් තමාට අයත් ඒවා නොවන බවත්, ඒවා පවත්වාගෙන යන්නේ සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් බවත් ඔහු හෙළිදරව් කර ඇත.



සැකකරුට ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය, විමර්ශන අවසන් නොවීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලවීමේ හැකියාව සලකා බලමින් මෙම නියෝගය ලබා දෙන ලදී. අධිකරණය සැකකරුවෙකුගේ නිලය හෝ තරාතිරම නොව නීතිය පමණක් සලකා බලන බවද මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් අවධාරණය කළාය.