රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයා රිමාන්ඩ් කිරීමේ ඉතිහාසගත තීන්දුව සිකුරාදා ප්‍රකාශයට පත් කරන ලද්දේ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරය. ජ්‍යේෂ්ඨ නීතිවේදීන්ගේ තර්ක විතර්ක විමසා බලා පැය භාගයක් කාලයක් අධිකරණය අත් හිටවූ විනිසුරුවරිය නැවත පැය 04කට පමණ කළ දීර්ඝ විමසා බැලීමකින් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණයට ප්‍රකාශ කළේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සැකකාර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණක් විවෘත අධිකරණයේ දී ඉදිරිපත් නොකළ බවය.
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අනුෂ ප්‍රේමවර්ධන අධිකරණයට කරුණු දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන්ම බිරියද රෝගාතුරව සිටින බව කීවේය. ඉදිරි දින කීපයේ ඔහු ඉන්දියාවේ සමුළුවකට සහභාගී වීමට සිටින බව හා ආරක්ෂාව සම්බන්ධව ගටලුවක් ඇති බව පැවසුවේය. රෝගී ප්‍රතිකාර විධි බන්ධනාගාරගත වුවද සැපයිය හැකි බව කී විනිසුරුවරිය අවශ්‍ය වන්නේ මෙම සංචාරය රාජ්‍ය සංචාරයක් ද, පෞද්ගලික සංචාරයක් ද යන්න පැහැදිලි කිරීම බවත් එය වහාම පැහැදිලි කරන ලෙසත් විත්තිය දැනුම් දුන්නේය.
අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පිරීස් හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවේ සැකකාර රනිල් වික්‍රමසිංහ 2023 වසරේ සැප්තැම්බර් 22-23 දෙදින තුළ රජයේ අරමුදල් ලක්ෂ 166ක් භාවිතා කරමින් පුද්ගලික සංචාරයක නිරත වී ඇති බවය. ඔහු මෙසේ කරුණු දැක්වීම ආරම්භ කළේය.
"ස්වාමීනි. සාක්ෂිකරුවන් 33ක ගෙන් පමණ ප්‍රකාශ ලබා ගත් පසුව මේ රටේ අටවන විධායක ජනාධිපතිවරයාව ප්‍රමාණවත් සාක්ෂි මත අත් අඩංගුවට ගෙනයි අධිකරණයට ඉදිරිපත් කරන්නේ. 2023.09.13 දින සිට 20 දක්වා මොහු කියුබාවේ සහ ඇමරිකාවේ නිල සංචාරයක නිරත වෙලා තියෙනවා. ඒ සංචාරයට ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු 10ක් සහභාගී වෙලා තියනවා.
හැබැයි මොහු එංගලන්තයට යන්නේ වුල්ෆ් හැමිල්ටන් විශ්වවිද්‍යාලයේ මොහුගේ බිරිඳගේ ගෞරව උපාධි ප්‍රධානෝත්සවයට. උපාධි ප්‍රධානෝත්සව තිබිලා තියෙන්නේ 22 හා 23. මේ දවස් දෙකට ලක්ෂ 166ක මුදලක් රජයේ අරමුදල්වලින් වියදම් කරලා. “ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය. ඔහු පෙන්වා දුන්නේ මෙම පුද්ගලික සංචාරය පිළිබඳව කරුණු ඇතුළත් කර තිබූ ලේඛන පසු අවස්ථාවක දී නිල සංචාරයක් බවට සටහන් කරමින් කවුරුන් හෝ වෙනස් කර ඇති බවය.
අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙසේ කීවේය. “ මේ විමර්ශනවලට අදාල පළමු ලේඛන ලැබෙන්නේ 2023 අගෝස්තු 16. ඒ ලේඛන තුළ මෙය පුද්ගලික සංචාරයක් බව සඳහන් වෙනවා. පසුව ලේඛන කීපයක් ලැබෙනවා. ඒ 2023 නොවැම්බර් 12 සහ දෙසැම්බර් 11 වැනිදා කාලය අතරතුර. ඒ ලේඛන තුළ මේ සංචාරය නිකම්ම නිකම් සංචාරයක් කියලා සඳහන් වෙනවා. “
“සංචාරය ගිහින් ආවට පස්සේ තමා ලේඛන වෙනස් වී තිබෙන්නේ මෙය නිල සංචාරයක් බවට. ඒ තුළින් මෙය නිර්මාණය කරපු ලිපියක් බව පැහැදිලි වෙනවා. මේ ලේඛන කවුරුන් හෝ වෙනස් කරලා. “
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සංචාරය සඳහා මුදල් වියදම් වී ඇති ආකාරය සම්බන්ධව ද පැහැදිලි කිරීමක් සිදුකළේය. “රට බංකොලොත් කියලා ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් විභාගයට යන අතරතුර තමා එවකට හිටපු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෙම සැකකරු මේ සංචාරය ගිහින් තියෙන්නේ රජයේ අරමුදල් ලක්ෂ 166ක් වියදම් කරලා. මේ සංචාරයේ දී වාහන කුලී ලක්ෂ 45ක්, ආහාර පාන සඳහා ලක්ෂ 3ක්, නවාතැන් සඳහා ලක්ෂ 34ක්, අමුත්තන්ගේ පරිහරණයට පවුම් 600ක්, වශයෙන් යොදවලා තියනවා. “
“කෙසේ වෙතත් ස්වාමීනී… මෙම සංචාරයට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලක්ෂ 132ක් දීලා තියනවා. ශ්‍රී ලංකා පොලිසියෙනුයි නාවික හමුදාවෙනුයි ලක්ෂ 32ක් දීලා තියනවා. මේ ආකාරයට තමයි මේ ලක්ෂ 166ක මුදල ලැබී තියෙන්නේ. කියුබාව සහ ඇමරිකාවේ නිල සංචාර ඉවර කරලා මෙයා ලන්ඩනයේ හෝටලේක නවතිනවා.”
“හැබැයි උපාධි ප්‍රධානෝත්සවය තිබීමට නියමිතව තිබූ අදාල විශ්වවිද්‍යාලය ලඟ නවාතැන් ගන්න හැකියාව තිබිලා. එහෙම තිබෙද්දි තමා මොහු ලන්ඩනයේ ලැන්ඩ් මාක් හෝටලයේ ඉඳලා තිබෙන්නේ. “ “ජනාධිපතිවරයා කියන්නේ රජයේ මුදල්වල භාරකරු මිසක් අයිතිකරු නොවෙයි. ඔහුට මේ ආකාරයට රජයේ මුදල්, ජනතාවගේ මුදල් අවභාවිතා කරන්න බෑ.”
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ලේකම්වරිය වූ සැන්ඩ්‍රා පෙරේරාගේ ප්‍රකාශයෙන් අදාල සංචාරය නිල සංචාරයක් නොවූ බව පැවසූ බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයේ දී අනාවරණය කළේය.
“මේ සිද්ධිය සම්බන්ධව සැකකරුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඇය එම සංචාරය නිල සංචාරයක් නොව පුද්ගලික සංචාරයක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ නෑ කියලා ප්‍රකාශ ලබා දෙමින් කිව්වා. “
“ඒ වගේම ඇය පසුව එය නිල සංචාරයක් නොව, පුද්ගලික සංචාරයක් බව දැනගත් බව ද ප්‍රකාශ ලබා දෙමින් කිව්වා. මේ සැකකරුගේ පුද්ගලික ලේකම්වරිය ඒ ප්‍රකාශ දෙන්නේ. පුද්ගලික ලේකම්වරියත් මේ සංචාරයට ගියා. “
අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කීවේය. මෙම නිල සංචාරයට මුදල් අනුමත කිරීම එවකට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිදුකර ඇති බව පැවසූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ ඔහුට විදෙස් ගමන් තහනම් ලබා ගැනීමට අපේක්ෂා කරන බවය.
ඇප ලබා දීමට විරෝධය පලකරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පැවසුවේ සැකකරුට එරෙහිව ඇති චෝදනා පොදු දේපල පනත යටතේ ගැනෙන බැවින් ඇප ලබා දීමට සුවිශේෂී කරුණු අවශ්‍ය බවය.
“ මේ අවස්ථාවේ මේ සැකකරුට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු නැහැ. පොදු දේපල පනත යටතේ ඇප ලබාදීමට සුවිශේෂී කරුණු අවශ්‍යයයි. මේ නඩුව සාමාන්‍ය අපරාධ නඩුවක් ලෙස සලකන්න කියලා මම ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා. මෙහි අපරාධමය චෝදනා තියනවා. නීතිය හැමෝටම පොදු විය යුතුයි. රාජ්‍ය මුදල් මේ ආකාරයෙන් වියදම් කිරීම සුදුසු නෑ ස්වාමීනී. මේ මහජන මුදල් අවභාවිතාවක්. කොහොමද පුද්ගලික සංචාරයකට නිල සංචාරයක් බව පවසා මෙහෙම මුදල් ගන්නේ.“
“ මේ සැකකරු ඔහුගේ ප්‍රකාශයෙන් කියනවා ඒක නිල සංචාරයක් නෙමෙයි, පුද්ගලික සංචාරයක් කියලා. ස්වාමීනි. විමර්ශන අවසන් නෑ. තවත් සැකකරුවන් අත් අඩංගුවට ගන්න තියෙනවා. යුක්තියේ දෙවඟන ඇස් වසාගෙන ඉන්නවා වගේ ඔබතුමියත් තරාතිරම නොබලා ඉදිරිපත් වී ඇති කරුණු පමණක් සලකා බලා තීන්දුවක් ලබා දෙන්න” අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය ඉදිරියේ ඉල්ලා සිටියේය. *
සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතඥ අනුජ ප්‍රේමරත්න ඇප ඉල්ලීම සිදුකරමින් මෙසේ පැවසුවේය.
“මේ විමර්ශනය ආරම්භ කරලා තියෙන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ලේකම්වරයා සිදුකළ පැමිණිල්ලකට අනුව. අද මේ නඩුව දාන්න පුලුවන් වුණෙත් මේ සැකකරු ජනාධිපති වෙලා ඉන්නකොට ජනාධිපතිවරුන්ගේ මුක්තිය අයින් කරපු නිසා.” “නමුත් මෙහෙම නඩු දාන්න බෑ. මේ නඩුව සම්පූර්ණයෙන්ම ද්වේශ සහගත නඩුවක්. පැමිණිල්ල හරියට හොයලා නෑ මේ ආරාධනාව ආපු ආකාරය පිළිබඳව. “
“මේ ආරාධනය එංගලන්තයේ තානාපති කාර්යාලය හරහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා තමා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම නිල සංචාරයක් එංගලන්තේ. “
“මොහු වයස අවුරුදු 76ක පුද්ගලයෙක්. දීර්ඝ ගුවන් ගමන් යන්න බැරි නිසා තමයි එංගලන්තයේ ට්‍රාන්ස්සිට් එකක් විදිහට භාවිතා කරලා තියෙන්නේ. “
“මොහු වසර 7ක සිට හෘද රෝගයෙන් පීඩා විඳිනවා. දියවැඩියා රෝගය අධි රුධිර පීඩනය ඇතුළු රෝග කීපයකින් පීඩා විඳිනවා. පළමු වරට අද මේක කියන්නේ. කවුරුත් දැනගෙන හිටියෙ නෑ මේක. මොහුගේ බිරිඳ පිළිකා රෝගියෙක්. මොහුට දරුවන් නෑ. ඔවුන් දෙදෙනාට ඉන්නේ ඔවුන් දෙදෙනා පමණයි. ඇයගේ සියලු කටයුතු කරන්නේ මොහු. “
“මොහුට අනිද්දා ඉන්දියාවේ කොමන් වෙල්ත් යූත් සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට තිබෙනවා. බන්ධාගාරය කියන්නේ හිටපු ජනාධිපතිවරයෙකුට ආරක්ෂිත ස්ථානයක් නොවෙයි. සුදුසු කොන්දේසියක් මත මගේ සේවා දායකයා ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා. “
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අධිකරණ කටයුතු පැය භාගයකට අත් හිටවූයේය.
පැය 4කට පසු විනිසුරුවරිය සිය දීර්ඝ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කරුණු ගණනාවක් අවධානයට ලක් කරනු ලැබුවාය. එහි ප්‍රධානම කරුණක් වූයේ මෙහි සඳහන්වන පොදු දේපල පිළිබඳ නීතිය ය. පොදු දේපල පිළිබඳ කරුණක දී ඇප ලබා දීමට නම් සුවිශේෂී හේතු දැක්විය යුතු බවත් එවැනි හේතු දැක්වීමක් මෙහිදී සිදු නොවුන බවත් විනිසුරුවරිය දන්වා සිටියාය.
මේ අවස්ථාවේදී අධිකරණය අවධාරණය කළේ විදේශීය ආයතනයකින් හෝ තානාපති කාර්යාලයකින් ලැබුණු ආරාධනා පත්‍රයක් ලැබුණ බවට අධිකරණයේ මේ අවස්ථාව සටහන්වන තෙක් අධිකරණයේ සටහන් වී නැති බවත් දැනට මේ සිද්ධිය පිළිබඳව ලබාගෙන ඇති සාක්ෂි සටහන් 38න් එක් තැනකවත් එය සටහන් නොවුන බවත් රජයේ නීතිඥවරු පෙන්වා දී ඇති අයුරුය. එබඳු තත්ත්වයක් තුළ මෙම ලිපිය පිළිබඳත් සොයා බැලිය යුතු බව අධිකරණයේ ස්ථාවරය විය. හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන්වූයේය.
අධිකරණයේ මතය වූයේ එවැනි රෝගී තත්ත්වයක් තිබේ නම් බන්ධනාගාරය තුළ අදාල ප්‍රතිකාර ලබා දීමට කිසිදු බාධාවක් නොමැති බවය. අධිකරණය තීන්දුව ලබා දුන්නේ මේ සියලු කරුණු ප්‍රකාශයට පත් කරමිනි.”
මෙම නිල සංචාරය කිසිදු අවස්ථාවක නිල සංචාරයක් බව තහවුරු කිරීමට සාක්ෂි
හෝ අධිකරණය හමුවේ තහවුරුවක් සහිත ප්‍රකාශ කිරීමට නොහැකි වූ බව
විනිසුරුවරිය ප්‍රකාශ කළාය. එබැවින් සැක කරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන
බවත්, ඉදිරි දිනයේ දී මෙම සංචාරය නිල සංචාරයක් ලෙස ලිපි වෙනස් කර සකසා ඇති ද
යන්න කඩිනම් විමර්ශනයක් කර වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත්
මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
නාමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, නවීන් දිසානායක, මහින්ද යාපා
අබේවර්ධන, මෛත්‍රීපාල සිරිසේන, රිෂාඩ් බදියුදීන්, නිමල් සිරිපාල ද සිල්වා,
ප්‍රසන්න රණතුංග, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, අනුර ප්‍රියදර්ශන
යාපා, ගයන්ත කරුණාතිලක, දුමින්ද දිසානායක ඇතුළු දේශපාලකයින් රැසක් රනිල්
බන්ධනාගාරයට රැගෙන යන තෙක් අධිකරණ භූමියේ සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval