fake-police-collecting-money-at-maradana-railway-station

 මරදාන දුම්රිය ස්ථානයේදී පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් දුම්රිය මගීන්ගේ මුදල් කොල්ලකෑමේ ක්‍රමානුකූල ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු, දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



සැකකරු දුම්රිය ස්ථානයේ වේදිකාවල රැඳී සිටිමින්, මගීන්ගේ හැඳුනුම්පත් සහ මුදල් පසුම්බි පරීක්ෂා කරන මුවාවෙන් ඔවුන්ගේ මුදල් සොරකම් කිරීම කාලයක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.



ඔහුගේ අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය 31 වනදා දහවල් 12:30ට පමණ, දුම්රිය වේදිකාවක දුම්පානය කරමින් සිටි මගියෙකු බිය ගන්වා, ඔහු සතුව තිබූ රුපියල් 12,000ක මුදලක් කොල්ලකා පලායාමයි. දුම්පානය කිරීම තහනම් බව පවසමින් මගියාගේ හැඳුනුම්පත ලබාගත් සැකකරු, එය ආපසු ලබා දී මුදල් පමණක් රැගෙන වෙනත් දුම්රියකට ගොඩවී පළාගොස් තිබේ.

මෙම සිදුවීමෙන් පසු අදාළ මගියා දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට කළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන්, සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුව දුම්රිය ස්ථානයේදීම කොටුකර ගැනීමට සමත්ව ඇත. ඔහු සතුව තිබී කොල්ලකන ලද රුපියල් 12,000 මුදලද සොයාගෙන තිබේ.

වයස 45ක පමණ වන, කොළඹ සංඝරාජ මავතේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මරදාන පොලීසිය වෙත භාර දී ඇත.