fake-photos-to-make-fun-of-the-operation-to-catch-the-underworld

 සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුලු පිරිස ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ අවස්ථාවේදී, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඳ නමස්කාර කළ ආකාරයක් පෙන්වන ඡායාරූපයක් මුල්කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.



ඉන්දුනීසියාවේදී ශ්‍රී ලංකා සහ ඉන්දුනීසියානු පොලිසි එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පිරිස 2025 අගෝස්තු 30 වන දින කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එන ලදී.



මෙම මෙහෙයුමට දායක වූ දෙරටේ පොලිස් නිලධාරීන්ව ඇගයීම සහ ඉන්දුනීසියානු නිලධාරීන්ට ස්තූතිය පල කිරීම සඳහා ගුවන්තොටුපළ පරිශ්‍රයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ඊට අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් සහභාගී විය.

එම උත්සවයේදී අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට සමරු තිළිණ ප්‍රදානය කළ අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් ව්‍යාජ ලෙස සංස්කරණය කර, අසත්‍ය ප්‍රවෘත්ති සමඟ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මින් ඉහත යුද ජයග්‍රහණ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ විදේශයක සිට මෙරටට පැමිණී අවස්ථාවේ වීරත්වයට නැගූ ඡායාරූපය ආකාරයට කෘත්‍රීම බුද්ධි මෘදුකාංගයකින් සකස්කර ආනන්ද ඇමතිවරයා දණ නමා සිටින ඡායාරූපය පාතාල නායකයින් ඇල්ලීමේ මෙහෙයුම අවතක්සේරු කිරීමේ අරමුණින් කිසිවෙකු උපහාසයට සකස්කළ එකක් බව හඳුනාගෙන තිබේ.

මෙම පළ කරන ලද ඡායාරූප සහ අසත්‍ය පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ඒවා නිර්මාණය කර ප්‍රචලිත කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන මොහොතක, සත්‍ය සහ නිවැරදි තොරතුරු පමණක් වාර්තා කරන ලෙස සියලුම මාධ්‍ය ආයතනවලින් සහ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලීමක් කර සිටී.



gossiplanka image 2