
අනුරාධපුරයේ නිදන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු කණ්ඩායමට, ඒ සඳහා අවශ්‍ය වූ පූජා භාණ්ඩ සහ කුකුළෙකු සපයා ඇත්තේ එම නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේම පවතින, කොළඹට ආසන්න පොලිස් ස්ථානයකින් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝග මත මෙම භාණ්ඩ සපයා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර, සිය බිරිඳ නිධානය ගොඩගැනීමේ නිරතව සිටි අවස්ථාවේදී, අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද අනුරාධපුර ප්‍රදේශයේ රැඳී සිටියාද යන්න පිළිබඳව ද මේ වන විට වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇත.
පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දේවාලයක් පිහිටි අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේ නිවසක නිදන් හෑරීමේ නිරතව සිටියදී මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 14 වනදා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. සිද්ධිය වූ ස්ථානයේ තිබී උදලු, අලවංගු ඇතුළු කැනීම් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, අනුරාධපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval