
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව, නව දූෂණ විරෝධී පනත යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට තීරණය කර ඇති බව එම කොමිසම පවසයි.
කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පසුගිය කාලයේ සිදු වූ මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ විමර්ශන මේ වනවිට කඩිනම් කර ඇති බවයි. කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් මෙම විමර්ශන ක්‍රියාත්මකය.
මෙම විමර්ශන ක්‍රියාත්මක වෙද්දී, ඇතැම් දේශපාලනඥයන් ඇතුළු පිරිස්, මේවා 'දේශපාලන පළිගැනීම්' ලෙස හඳුන්වමින් ප්‍රකාශ නිකුත් කරන බවත්, එය ස්වාධීන කොමිසමකට සිදුකරන බරපතළ අපහාසයක් බවත් එම නිලධාරියා පෙන්වා දුන්නේය.
එබැවින්, ඉදිරියේදී එලෙස කොමිසමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කරන සියලු පුද්ගලයන්ට එරෙහිව, දූෂණ විරෝධී පනතේ 118 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval