colombo-university-medical-student-hangs-himself-to-death

 කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යයෙකු සියදිවි හානිකර ගැනීමේ සිදුවීමක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. කෑගල්ල පොලීසිය පැවසුවේ පසුගිය 02 වන සෙනසුරාදා දින මෙම ශිෂ්‍යයා සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවයි.



මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල, පිටිහුම, බෙලිගස් පාරේ පදිංචිව සිටි 24 හැවිරිදි ගෞතමදාසගේ ආසිරි ශානක කුමාර ගෞතමදාස නම් තරුණයායි. ඔහු සිය කාමරයේ ජනේලයක ග්‍රිල් එකක ඇඳ ඇතිරිල්ලක් භාවිත කරමින් මෙසේ සියදිවි හානිකරගෙන ඇත.



ඊයේ (03) දින පවත්වන ලද හදිසි මරණ පරීක්ෂණයේදී මියගිය ශිෂ්‍යයාගේ පියා සාක්ෂි ලබා දෙමින්, තම පුත්‍රයා "මට මේවා එපා වෙලා තියෙන්නේ" යනුවෙන් මීට පෙර පැවසූ බව සඳහන් කර තිබේ. ඔහුව මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට උත්සාහ කළද පුත්‍රයා එය ප්‍රතික්ෂේප කළ බවද වෛද්‍යවරයෙකු වන පියා ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේදී සිදු කෙරුණු අතර, මෙය ගෙල වැලලා ගැනීමෙන් සිදු වූ සියදිවි හානිකර ගැනීමක් බවට කෑගල්ල හදිසි මරණ පරීක්ෂකවරිය වන රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කරන ලදී.

මියගිය ශිෂ්‍යයාගේ පියා සහ මව වෘත්තියෙන් වෛද්‍යවරුන් වන අතර, ඔහුගේ එකම නැගණිය ද වෛද්‍ය ශිෂ්‍යාවකි. මියගිය ආසිරි ශානක ශිෂ්‍යයාගේ අවසන් කටයුතු අද (04) කෑගල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. කෑගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.