ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් සමග අත්අඩංගුවට ගනු ලැබූ ‘බැකෝ සමන්’ නැමැත්තාගේ බිරිඳ සහ දියණිය එරටින් පිටුවහල් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඊයේ (29) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වූ ඔවුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන ඇත.
30 හැවිරිදි සජිකා ලක්ෂානි පත්තිනිගේ සහ 03 හැවිරිදි දියණිය මෙසේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL-365 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඊයේ පස්වරු 5.50ට පමණ දිවයිනට ළඟා වී ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපළ ඒකකය මගින් ඔවුන්ව භාරයට ගෙන මූලික ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන්ව කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත යොමු කළ බව වාර්තා වේ.
මෙම කාන්තාවට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර නොතිබීම සහ ඇයට බරපතළ අපරාධ චෝදනා එල්ල වී නොතිබීම හේතුවෙන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් ඇයව සහ දරුවා මෙරටට පිටුවහල් කිරීමට තීරණය කර තිබිණි. ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පෙර ඇය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ පසුවූ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
‘කෙහෙල්බද්දර පද්මේ’ , සලින්ත, බැකෝ සමන් ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් විශේෂ ආරක්ෂාවක් යටතේ ඉදිරි දිනයක ලංකාවට රැගෙන ඒමට විධිවිධාන සලසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval