a-brothel-operating-under-the-guise-of-an-ayurveda-center-on-pagoda-road-was-raided

නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ, ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පෙනී සිටිමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් වටලනු ලැබීය. 

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පෙරේදා සිදුකළ මෙම වැටලීමේදී කාන්තාවන් සිව් දෙනෙකු,

හිමිකරුවන් දෙදෙනෙකු, කළමනාකරුවෙකු සහ තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු නව දෙනෙකුගෙන් යුත් කණ්ඩාමක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත් වූ කාන්තාවන් වයස අවුරුදු 22ත් 40ත් අතර වයස්වල පසුවන්නියන් බවත්, ඔවුන් ගාල්ල, අනුරාධපුර, පාදුක්ක සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් පොලිසිය තහවුරු කර තිබේ. සෙසු සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ත් 50ත් අතර වයස් කාණ්ඩයේ පසුවන බව වාර්තා වේ. මෙම ස්ථානය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බලපත්‍රයක් නොතිබූ බවත්, එහි ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයකු සේවය නොකළ බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම සිදුකර තිබේ.