over-6000-american-student-visas-cancelled-new-student-arrivals-down-40

 ට්‍රම්ප් පරිපාලනය විසින් ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන දැඩි ක්‍රියාමාර්ග මාලාවේ නවතම පියවරක් ලෙස, මේ වසර තුළදී පමණක් ඇමරිකානු ශිෂ්‍ය වීසා බලපත්‍ර 6,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳුදා ප්‍රකාශ කළේය.


නීතිය කඩ කිරීම හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටීම යන චෝදනා මත මෙම වීසා අවලංගු කර ඇති බව නිලධාරියෙකු සීඑන්එන් වෙත පැවසීය.



අවලංගු කරන ලද වීසා 6,000න් 4,000ක් පමණ අවලංගු කර ඇත්තේ වීසා බලපත්‍රලාභීන් "නීතිය කඩ කිරීම" හේතුවෙනි. මෙම නීති උල්ලංඝනය කිරීම්වලින් බහුතරය පහරදීම්, බීමතින් රිය පැදවීම, සොරකම් සහ "ත්‍රස්තවාදයට සහාය දීම" වැනි බරපතල ගණයේ චෝදනා බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව, වීසා බලපත්‍ර 200ත් 300ත් අතර ප්‍රමාණයක් අවලංගු කර ඇත්තේ, "ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම්" හේතුවෙන් විදේශිකයන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කළ හැකි බවට වන ආගමන හා ජාතිකත්ව පනතේ ප්‍රතිපාදන යටතේය.

ට්‍රම්ප් පරිපාලනය විසින් ගාසා තීරයේ යුද්ධයට එරෙහිව විරෝධතාවල නිරත ජාත්‍යන්තර සිසුන් විශේෂයෙන් ඉලක්ක කර ඇති අතර, ඔවුන්ට යුදෙව් විරෝධය සහ ත්‍රස්තවාදයට සහාය දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ.

මීට අමතරව, ශිෂ්‍ය වීසා සඳහා අයදුම්කරුවන් පරීක්ෂා කිරීමේදී, "ඇමරිකානු පුරවැසියන්, සංස්කෘතිය, රජය හෝ ආයතන කෙරෙහි සතුරු ආකල්ප" ඇත්දැයි පරීක්ෂා කරන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය තානාපති කාර්යාලවලට උපදෙස් දී ඇත. මෙම පරීක්ෂාවේ කොටසක් ලෙස, අයදුම්කරුවන්ගෙන් තම සමාජ මාධ්‍ය ගිණුම් ප්‍රසිද්ධ (public) කරන ලෙස ඉල්ලා සිටිනු ඇත.



එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ මෙම ප්‍රතිපත්තිය දැඩි ලෙස ආරක්ෂා කරමින්, "ශිෂ්‍ය වීසා බලපත්‍රයක් යනු ව්‍යවස්ථාමය අයිතියක් නොවේ. එය අප ඔබට ලබා දීමට තීරණය කරන වරප්‍රසාදයකි," යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙම දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වසරේදී නවක ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම 30% ත් 40% ත් අතර ප්‍රමාණයකින් පහත වැටිය හැකි බව NAFSA: ජාත්‍යන්තර අධ්‍යාපනඥයින්ගේ සංගමය පුරෝකථනය කරයි.

"මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත්, ඇමරිකානු ආර්ථිකයට ඩොලර් බිලියන 7ක පාඩුවක් සහ රැකියා 60,000කට අධික සංඛ්‍යාවක් අහිමි වනු ඇත," යනුවෙන් එම සංගමය ජූලි මස අගදී අනතුරු ඇඟවීය.

2024 මූල්‍ය වර්ෂයේදී ශිෂ්‍ය වීසා 400,000ක් පමණ නිකුත් කර තිබුණද, මෙම නව නීති සහ තාවකාලිකව නව අයදුම්පත් අත්හිටුවීම හේතුවෙන් මේ වසරේ එම සංඛ්‍යාව විශාල ලෙස පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

(සීඑන්එන් ඇසුරිනි)