tipper-driver-worked-24-hours-straight-when-fatal-accident-occurred-in-kuliyapitiya

කුලියාපිටියේදී පාසල් සිසුවියන් දෙදෙනෙකුට සහ වෑන් රථ රියදුරෙකුට මරු කැඳවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් වන තෙක් සැකකරුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාරවිල, මූදුකටුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වර්ණකුලසූරිය සුලන්ත නිමේෂ් ප්‍රනාන්දු නැමැති සැකකරු ඊයේ (28) අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී කරුණු දැක්වූ කුලියාපිටිය පොලීසිය, සැකකරු පැය 24ක පමණ කාලයක් නොනවත්වා සේවයේ යෙදී සිටීම නිසා ඇතිවූ දැඩි වෙහෙස සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට මූලික හේතුව බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අධිකරණයට දැන්වීය.



අනතුර සිදුවූ ස්ථානයේ සිදුකළ පරීක්ෂාවේදී, මියගිය පාසල් වෑන් රථයේ රියදුරු විසින් අනතුර වළක්වා ගැනීම සඳහා උපරිම උත්සාහයක් ගෙන ඇති බවට තිරිංග සටහන් සහ වෑන් රථය පාලමේ ආරක්ෂිත වැටටම හේත්තු වන සේ නතර කර තිබීමෙන් පෙනී යන බවද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. සැකකරු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට මූලික වෛද්‍ය පරීක්ෂණයේදී පෙනී ගියද, වැඩිදුර පරීක්ෂණ සඳහා රුධිර සහ මුත්‍රා සාම්පල යොමුකර ඇති බව පොලීසිය පැවසීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය, තම සේවාදායකයා මෙම අනතුර හිතාමතා සිදු නොකළ බවත්, අධික වෙහෙස නිසා ඇතිවූ තත්ත්වයක් මත එය සිදුවී ඇති බවටත් කරුණු දක්වමින් ඇප ඉල්ලා සිටියාය. කෙසේ වෙතත්, පොලීසියේ සහ අගතියට පත් පාර්ශ්වයේ ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

gossiplanka image 2


gossiplanka image 1