airman-caught-stealing-train-passengers-purse

 දුම්රියක ගමන් කරමින් සිටි කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුයුක්ත සෙබළෙකු, දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් කොටුව දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබේ.



පසුගිය 31 වනදා පෙරවරු 8.45ට පමණ අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රිය, කොටුව දුම්රිය ස්ථානයේ හතරවන වේදිකාවේ නවත්වා තිබියදී මෙම සිදුවීම වාර්තා වී ඇත. දුම්රියේ සිටි කාන්තාවක වෙනත් අයෙකු හා කතාබහ කරමින් සිටි අවස්ථාවේදී, සැකකරු ඇගේ මුදල් පසුම්බිය උදුරාගෙන පලායාමට උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේදී කාන්තාව සහ අනෙකුත් මගීන් කෑගැසීමත් සමග වහා ක්‍රියාත්මක වූ දුම්රිය ආරක්ෂක නිලධාරීන්, දැඩි පරිශ්‍රමයකින් පසු සැකකරුව අල්ලා ගැනීමට සමත්ව ඇත.



අත්අඩංගුවට ගත් පුද්ගලයා මොරවැව ගුවන් හමුදා කඳවුරේ සේවය කරන එච්. ජී. සංජීව කුමාර කරුණාසේන නැමැති සෙබළෙකු බවට පසුව හඳුනාගෙන තිබේ. සොරාගත් මුදල් පසුම්බිය අදාළ කාන්තාවට නැවත ලබා දී, සැකකාර සෙබළාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටුව පොලීසිය වෙත භාරදීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් කටයුතු කළේය.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, කොටුව දුම්රිය ආරක්ෂක කාර්යභාර නිලධාරී ජේ. කුමාරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර තිබේ.