one-killed-in-shooting-in-sahaspura-borella

 බොරැල්ල, සහස්පුර, සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසල ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් පුද්ගලයෙකු මිය යාමත් සමඟ මරණ සංඛ්‍යාව මෙසේ ඉහළ ගොස් තිබේ.





යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම ප්‍රහාරය එල්ල කර ඇත. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ, අද (08) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලියක් සඳහා සංවිධාන කටයුතුවල නිරතව සිටි පිරිසක් ඉලක්ක වී ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් එක් අයෙකු අද පෙරවරුවේදී මිය ගියේය.

මියගොස් ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. පසුව, ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි තැබීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.