Former South Korean First Lady Kim Kang-hee arrested

 දකුණු කොරියාවේ සිරගතව සිටින හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ගේ බිරිඳ වන හිටපු ජනාධිපති ආර්යාව, කිම් කන් හී, කොටස් වෙළෙඳපොළ මිල විකෘති කිරීම සහ අල්ලස් ගැනීම ඇතුළු චෝදනා රැසක් මත අත්අඩංගුවට ගෙන තිබේ.



ඊයේ (12) සෝල් නුවරදී පැවති පැය හතරක අධිකරණ විභාගයකදී කිම් කන් හී මහත්මිය තමන්ට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කළාය. කෙසේ වෙතත්, ඇය විසින් සාක්ෂි විනාශ කරනු ඇතැයි යන අවදානම සැලකිල්ලට ගත් අධිකරණය,

ඇයව රඳවා තබාගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළේය.

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරුන් අධිචෝදනා ලැබ සිරගත වීමේ ඉතිහාසයක් පැවතියද, හිටපු ජනාධිපතිවරයෙකු සහ හිටපු ජනාධිපති ආර්යාවක් යන දෙදෙනාම එකවර සිරගත වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. හිටපු ජනාධිපති යූන් සුක් යෝල්, පසුගිය වසරේ රට තුළ හමුදා නීතියක් පැනවීමට ගත් අසාර්ථක උත්සාහයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විටත් සිරගතව පසුවේ.

52 හැවිරිදි කිම් කන් හී මහත්මියට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේ, දකුණු කොරියාවේ BMW මෝටර් රථ අලෙවි නියෝජිතයෙකු වන "ඩොයිෂ් මෝටර්ස්" (Deutsch Motors) සමාගමේ කොටස් මිල ඉහළ නැංවීමේ ජාවාරමකට සම්බන්ධ වී කොරියානු වොන් මිලියන 800ක (අමෙරිකානු ඩොලර් 577,940) නීති විරෝධී ලාභයක් උපයා ඇති බවයි. මෙම සිදුවීම ඇයගේ සැමියා ජනාධිපති වීමට පෙර සිදුවූවක් වුවද,

ඔහුගේ පාලන සමය පුරාවටම එය මතභේදයට තුඩු දුන් මාතෘකාවක් විය.

ඊට අමතරව, මතභේදාත්මක "එක්සත් කිරීමේ පල්ලිය" (Unification Church) වෙතින් ව්‍යාපාරික වාසි ලබාදීමේ ප්‍රතිඋපකාර ලෙස චැනල් (Chanel) වර්ගයේ අත්බෑග් දෙකක් සහ දියමන්ති මාලයක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවටද ඇයට චෝදනා එල්ල වී තිබේ. 2022 පාර්ලිමේන්තු අතුරු මැතිවරණයේදී සහ පසුගිය වසරේ පැවති මහ මැතිවරණයේදී අපේක්ෂක නාමයෝජනා සඳහා මැදිහත් වූ බවටද ඇය චෝදනා ලබා ඇත.

කළු පැහැති ඇඳුමකින් සැරසී ඊයේ පැවති අධිකරණ විභාගයට පෙනී සිටි කිම් මහත්මිය, "මා වැනි නොවැදගත් පුද්ගලයෙකු නිසා ගැටලු ඇති කිරීම සම්බන්ධයෙන් මම අවංකවම සමාව අයදිමි," යනුවෙන් මාධ්‍යවේදීන් හමුවේ පැවසුවාය.

සිය සැමියා ජනාධිපති ධුරය දරණ සමයේ, විපක්ෂය විසින් තම බිරිඳට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා ගෙන ආ විශේෂ පරීක්ෂණ යෝජනා තුනක්ම ඔහු නිෂේධ බලය යොදා පරාජය කළේය. ඔහුගේ අවසන් නිෂේධනය වාර්තා වූයේ, හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමට සතියකට පෙරය. යූන්ගේ දේශපාලන ප්‍රතිවාදියා වූ ලී ජේ මියුං ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, මෙම වසරේ ජූනි මාසයේදී මෙම චෝදනා විමර්ශනයට විශේෂ උපදේශකවරයෙකු පත් කරන ලදී.



gossiplanka image 2