Former MP Shantha Mudunkotuwa shot dead; driver arrested, operation carried out from Dubai

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ශාන්ත මුදුන්කොටුව මහතා (46) ඊයේ (12) සවස මීගොඩදී වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම ඝාතනය සිදුකර පැයක් යෑමට මත්තෙන්, ඊට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු, වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සහ මෝටර් රථය සමග බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.



යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මුදුන්කොටුව මහතාට වෙඩි තබා ඇත්තේ මීගොඩ, ආටිගල මාර්ගයේ නඩුහේන පාරට හැරෙන ස්ථානයේ පිහිටි බුදු පිළිමය ආසන්නයේදීය. වෙඩික්කරු සහ රියදුරු මෝටර් රථයකින් පැමිණ මෙම අපරාධය සිදුකර ඇති බව පොලීසිය පවසයි.



මෙම ඝාතනය, විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ කප්පම්කරුවෙකු වන ලලිත් කන්නන්ගර විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී ඇත. බන්ධනාගාරගතව සිටින "ආමි සම්පත්" සහ "පොලොන්නරුවේ සුද්දා" නැමැති අපරාධකරුවන් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වන අත්තිඩියේ පදිංචි දමිත් ඉන්දික නැමැත්තා, "පොලොන්නරුවේ සුද්දා" ගේ ඥාතියෙකු බවත්, මෙම ඝාතනයට සම්බන්ධ වීම සඳහා ඔහුට රුපියල් 50,000ක මුදලක් ලැබී ඇති බවත් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරගෙන ඇත. ඔහු මීට පෙර කොල්ලකෑම් ඇතුළු අපරාධ 10කට පමණ චෝදනා ලැබූවෙකි.

වෙඩික්කරු තලවතුගොඩ ප්‍රදේශයෙන් මෝටර් රථයෙන් බැස පලාගොස් ඇති අතර, ඔහු පිළිබඳව ද තොරතුරු රැසක් හෙළිකරගෙන ඇති බවත්,

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි. නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා පැවසුවේ, ලලිත් කන්නන්ගර විසින් හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම සම්බන්ධ සිදුවීමක් මෙම ඝාතනයට මුල්වී ඇති බවට සැකකරන බවයි.

වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ත මුදුන්කොටුව මහතා "බනා මන්ත්‍රී" යන අන්වර්ථ නාමයෙන් ප්‍රකටව සිට ඇත. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මීට පෙර හෝමාගම ප්‍රාදේශීය සභාව නියෝජනය කර ඇති අතර, අවසන් වරට "සර්වජන බලය" පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයේ නිරත විය. ඔහුට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් පොලීසියේ සටහන්ව නොමැති බවද වාර්තා වේ.