
රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම් සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන්, අදාළ තොරතුරු පිළිබඳව නිසි අවබෝධයකින් සහ පූර්ව සූදානමකින් යුතුව පැමිණිය යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. කිසිදු සූදානමකින් තොරව හුදෙක් පැමිණීමෙන් කාලය අපතේ යැවීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එසේ සූදානම්ව පැමිණිය නොහැකි නම් එම රැස්වීම්වලට සහභාගී නොවන ලෙසත් ඇය නිලධාරීන්ට තරයේ දැනුම් දුන්නාය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, ඊයේ (12) දින පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. "තොරතුරු නිවැරදිව ලබාදිය හැකි නිලධාරීන් පමණක් රැස්වීම්වලට එන්න. සූදානමක් ඇතිව එන්න. නැතිනම් මේ සංවර්ධන වැඩසටහන් සිදුකිරීමට නොහැකියි," යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම රැස්වීමේදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාද අග්‍රාමාත්‍යවරියගේ අදහස අනුමත කරමින්, ඇතැම් රාජ්‍ය නිලධාරීන් කිසිදු සූදානමකින් තොරව "ආවාට ගියාට" මෙන් මෙම රැස්වීම්වලට සහභාගී වන බවට චෝදනා කළේය.
"රැස්වීමට ඇවිත් යා යුතු යැයි සිතාගෙන පමණක් එන්න එපා.
තොරතුරු, ගැටලු සහ විසඳුම් නොමැතිව පැමිණ තවත් සතියකින් කියන්නම්, කරගෙන යනවා වැනි නොපැහැදිලි උත්තර දෙන්න එපා," යැයි නිපුණආරච්චි මහතා පැවසීය. වසර ආරම්භයේදීම මාසික රැස්වීම් පැවැත්වෙන දින ලිඛිතව දැනුම් දී තිබියදීත්, ඇතැම් නිලධාරීන් වෙනත් වැඩ යොදාගෙන රැස්වීම් මඟහරින බවත්, තොරතුරු නොදන්නා වෙනත් නිලධාරීන් තමන් වෙනුවට එවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
Comments
Post a Comment
Your comment will be visible after approval