කොලොම්බියාවේ ගුවන් හමුදා කඳවුරක් අසල ට්‍රක් රථයක් පුපුරුවා හැරීමෙන් සහ කොකේන් වගාවන් විනාශ කිරීමට යමින් තිබූ පොලිස් හෙලිකොප්ටරයකට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයින් දහඅට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
බ්‍රහස්පතින්දා කොලොම්බියාවේ සිදු වූ මෙම වෙනම ප්‍රහාර දෙකෙන් තවත් පුද්ගලයින් හැත්තෑ එකකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ. කාලි නගරයේ පිහිටි මාර්කෝ ෆිදෙල් සුවාරෙස් හමුදා ගුවන් පාසල අසලදී ට්‍රක් රථයට සවි කරන ලද බෝම්බය පුපුරුවා හැරීමෙන් සිවිල් වැසියන් හය දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු තහවුරු කළහ.
මෙම සිදුවීමට පැය කිහිපයකට පෙර, කොකේන් මත්ද්‍රව්‍ය නිපදවන කොකා වගාවන් විනාශ කිරීමේ මෙහෙයුමක නිරතව සිටි පොලිස් නිලධාරීන් රැගත් හෙලිකොප්ටර් යානයකට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දොළොස් දෙනෙකු මරණයට පත් විය.
මෙම ප්රහාරයන් පිටුපස FARC කැරලිකාර සංවිධානයෙන් කැඩී ගිය කණ්ඩායම් සිටින බවට කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පේත්රෝ චෝදනා කළේය. කොලොම්බියානු රජය පෙරළා දැමීම FARC සංවිධානයේ අරමුණ වූ අතර, 2016 වසරේ ඇති කරගත් සාම ගිවිසුමකින් පසු එම සංවිධානය විසුරුවා හරිනු ලැබුවද, එහි ඇතැම් කණ්ඩායම් තවමත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් ක්‍රියාකාරීව පසුවේ.
කාලි නගරයේ ගුවන් කඳවුර ආසන්නයේ සිදු වූ පිපිරීම 'ත්‍රස්තවාදී ක්‍රියාවක්' ලෙස ආරක්ෂක අමාත්‍ය පේද්රෝ සැන්චේස් හෙලා දුටු අතර, 'ගල්ෆ් ක්ලෑන්' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරී කල්ලිය ඊට වගකිව යුතු බවට ඔහු චෝදනා කළේය. පිපිරීමෙන් පසු නගරයේ විශාල ට්‍රක් රථ ගමනාගමනය තාවකාලිකව තහනම් කිරීමට කාලි නගරාධිපතිවරයා පියවර ගෙන ඇති අතර, ප්‍රහාරයට වගකිවයුත්තන් පිළිබඳ තොරතුරු ලබාදෙන්නන්ට ත්‍යාග මුදලක් ද පිරිනමා ඇත. පිපිරීමේ බලපෑමෙන් අවට ගොඩනැගිලි රැසකට හානි සිදු වී ඇති අතර පාසල් කිහිපයක් ද වසා දමා තිබේ.
ලොව විශාලතම කොකේන් නිෂ්පාදකයා වන කොලොම්බියාව, ගෝලීය කොකේන් සැපයුමෙන් සියයට හැටත් හැත්තෑවත් අතර ප්‍රමාණයක් සපයයි. දුරස්ථ සහ දුප්පත් ග්‍රාමීය ප්‍රදේශවල කොකා වගාව බහුලව සිදු කෙරෙන අතර, එය එම ප්‍රදේශවල ගොවීන්ට ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2023 වසරේදී කොලොම්බියාවේ කොකා වගාව හෙක්ටයාර ලක්ෂ දෙකහමාරක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඊට පෙර වසරට වඩා සියයට දහයක වර්ධනයකි.
Comments
Post a Comment
Your comment will be visible after approval