the-government-is-spending-218-million-rupees-on-pensions-for-506-former-mps

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසකට රජය විසින් අඛණ්ඩව විශ්‍රාම වැටුප් ගෙවමින් සිටින අතර, ඒ සඳහා පසුගිය වසර කිහිපය තුළ රුපියල් කෝටි 218කට අධික මුදලක් වැයකර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. පසුගිය වසරේදී පමණක් මෙම ගෙවීම් සඳහා රුපියල් කෝටි 36කට ආසන්න මුදලක් වෙන්කර තිබේ. 



මෙම විශ්‍රාම වැටුප් හිමිකම හිටපු මන්ත්‍රීවරුන් 325 දෙනෙකු,

ඔවුන්ගේ වැන්දඹුවන් 174 දෙනෙකු සහ මියගිය මන්ත්‍රීවරුන්ගේ දරුවන් හත් දෙනෙකු ඇතුළු 506 ක විශාල පිරිසක් වෙත හිමිවන බව පාර්ලිමේන්තු මූල්‍ය වාර්තා පෙන්වා දෙයි. 2018 වසරේ සිට වාර්ෂිකව රුපියල් කෝටි 20ත් 35ත් අතර අගයක් ගත් මෙම විශ්‍රාම වැටුප් වියදම, රාජ්‍ය මූල්‍යයට සැලකිය යුතු බරක් එක්කර ඇත.

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන බවට රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණද, මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත පියවරක් ගෙන නොමැති බවත්, අදාළ ගෙවීම් අඛණ්ඩව සිදුකරන බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කළහොත්, වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ට ද අනාගතයේදී විශ්‍රාම වැටුප අහිමිවීමේ අවදානමක් පවතී.



මේ අතර, හිටපු මන්ත්‍රීවරුන් සඳහා දැනටමත් ක්‍රියාත්මක වන විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීමට නීතිමය වශයෙන් බාධා පැවතිය හැකි බවට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මත පළ කරති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අතීතයට බලපාන පරිදි නීති සම්පාදනය කළ නොහැකි බැවින්, දැනට විශ්‍රාම වැටුප ලබන පිරිසගේ එම හිමිකම අහෝසි කිරීම නීතිමය අභියෝගයකට ලක්විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.