
මාර්ගගත ක්‍රමවේද ඔස්සේ කුලී රථ ඇණවුම් කරන මගීන්ට බාධා කිරීමෙන් හෝ ඔවුන් අපහසුතාවට පත් කිරීමෙන් වළකින ලෙස කොටුව පොලිසිය, එම පොලිස් බල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් වෙත දැනුම් දී තිබේ. කොටුව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදී මෙම උපදෙස් ලබා දී ඇත.
තම කැමැත්ත පරිදි ඕනෑම කුලී රථ සේවාවක් තෝරා ගැනීමට මගීන්ට පූර්ණ අයිතියක් ඇති බව පොලිසිය අවධාරණය කරයි. කෙසේ වෙතත්, මාර්ගගත ක්‍රමයට ඇණවුම් කළ ත්‍රිරෝද රථයකට, විශේෂයෙන්ම විදේශීය සංචාරකයෙකු ගොඩවීමට උත්සාහ කිරීමේදී, ඇතැම් ත්‍රිරෝද රථ නැවතුම්පොළවල රියදුරන් විසින් ඔවුන්ට පීඩාකාරී ලෙස හැසිරෙන බවටත්, ඇණවුම සඳහා පැමිණි රියදුරුට බාධා කරන බවටත් නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසයි. ඊට අමතරව කාඩ් වෙනුවට කෑෂ් දෙන්නැයි ඉල්ලා සිටින බවද වාර්තා විය.
කොටුව දුම්රිය ස්ථානය ආශ්‍රිතව පමණක් ත්‍රිරෝද රථ 92ක් පමණ ඇති බවත්, ඉන් බහුතරයක් වසර 25කට අධික කාලයක් එම වෘත්තියේ නියැලෙන බවත් පොලිසිය පෙන්වා දෙයි.
ඔවුන් විසින් සකසා ගත් ක්‍රමවේදයකට අනුව කුලී ගමන්වල යෙදුණ ද, එම ත්‍රිරෝද රථ බොහොමයක ගාස්තු මීටර ක්‍රියාත්මක නොවන බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මගීන්ට සාධාරණ මිලකට සුහදශීලී සේවාවක් සැපයීමේ අවශ්‍යතාව පවතින පසුබිමක, මෙලෙස ඒකාධිකාරයක් ගොඩනගා ගනිමින් බාධා කිරීම් සිදු කරන්නේ නම්, එම පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිසිය අනතුරු අඟවා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval