school-period-hours-will-be-increased-from-8-to-7-from-2026

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට පාසල් කාලසටහනේ එක් කාලපරිච්ඡේදයක් සඳහා වෙන්කරන කාලය විනාඩි 40 සිට 50 දක්වා දීර්ඝ කිරීමටත්, දෛනික කාලපරිච්ඡේද සංඛ්‍යාව 8 සිට 7 දක්වා අඩු කිරීමටත් තීරණය කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා මේ බව ප්‍රකාශ කළේය.





අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදී පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කරමින් ලේකම්වරයා මේ බව පැවසීය. සම්පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2026 වසරේ ජනවාරි මස 01 වනදා සිට පළමු ශ්‍රේණියේ සිට හයවන ශ්‍රේණිය දක්වා ඉලක්ක කර ගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු එහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම නව කාලසටහන් වෙනස, එනම් විනාඩි 50ක කාලපරිච්ඡේදය සහ දෛනිකව කාලපරිච්ඡේද 7ක් පැවැත්වීම, සෙසු ශ්‍රේණි සඳහාද ලබන වසරේ සිටම එකසේ ක්‍රියාත්මක වන බව ලේකම්වරයා අවධාරණය කළේය. මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ගුරුවරුන් ලක්ෂයක පිරිසක් පුහුණු කිරීමටද සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.