බොරැල්ල, කනත්ත හන්දියේ අද (28) උදෑසන සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකර රථයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී තහවුරු වී තිබේ. මෙම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් හත් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අද දින උදෑසන රාජගිරිය දෙසින් පැමිණ බෞද්ධාලෝක මාවත දෙසට ධාවනය වූ මෙම දොඹකරය, කනත්ත වටරවුමේ රථවාහන සංඥා අසල නතර කර තිබූ වාහන කිහිපයක ගැටී ඇත. එමගින් යතුරුපැදි හයක් සහ මෝටර් රථ තුනකට හානි සිදුවූ බව පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක් බවට හඳුනාගෙන තිබේ. තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු වන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ,
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය. රෝහලට ඇතුළත් කරන විටත් එක් පුද්ගලයෙකු මියගොස් සිටි බවද ඒ මහතා තහවුරු කළේය.
දොඹකරයේ තිරිංග අක්‍රිය වීමක් මෙම අනතුරට හේතු වන්නට ඇති බවට මූලික විමර්ශනවලදී පොලීසිය සැක පළ කර තිබුණි. කෙසේ වෙතත්, රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ වෛද්‍ය පරීක්ෂාවේදී ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට අනාවරණය වීමත් සමගම විමර්ශන නව මාවතකට යොමු වී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.