තම පෙම්වතා බේරාගැනීමට ගොස් මහවැලි වියානා ඇළේ සැඩ පහරට හසුවූ රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියක දියේ ගිලී අතුරුදන්ව තිබේ. මෙම සිදුවීම බදුල්ල - මහියංගණය මාර්ගයේ මාපාකඩවැව, 17 වන කණුව ප්‍රදේශයෙන් ඊයේ (20) සවස 5.00ට පමණ වාර්තා විය.
මෙසේ අතුරුදන්ව ඇත්තේ හම්බන්තොට, වැලිගල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දඩල්ලගේ රශ්මි ලක්ෂිකා මෙන්ඩිස් නැමැති තරුණියයි. ඇය සිය 27 හැවිරිදි පෙම්වතා සමඟ ඔහුගේ මෝටර් රථයෙන් රජරට සිට හම්බන්තොට පිහිටි සිය නිවෙස බලා යමින් සිටියදී,
ගිමන් හැරීම සඳහා මාපාකඩවැව ප්‍රදේශයේ වියානා ඇළ අසල නවත්වා ඇත. ඇළ ඉවුර දිගේ ඇවිද යමින් සිටියදී පෙම්වතාගේ පාදය ලිස්සා ගොස් හදිසියේම ඇළට වැටී ඇති අතර, පිහිනීමට නොහැකි ඔහු බේරාගැනීම සඳහා පෙම්වතියද ඇළට පැන තිබේ.
දෙදෙනාම සැඩ පහරට හසුව ගසාගෙන යනු දුටු කාන්තාවක් කෑ ගැසීමත් සමඟ, ඒ අසල සිටි මාපාකඩවැව පොලිස් විද්‍යාලයට අනුයුක්ත සුමේධ බණ්ඩාර ජයරත්න නම් පොලිස් නිලධාරියා සහ ඔහුගේ බිරිඳ වහා ක්‍රියාත්මක වී ඇළට පැන ඇත. ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරා ගසාගෙන යමින් සිටි තරුණයා බේරා ගැනීමට සමත් වුවද, වේගවත් ජල පහරට හසුවූ තරුණිය ඇසිල්ලකින් දියේ ගිලී අතුරුදන් වූ බව වාර්තා වේ.
බේරාගත් තරුණයා මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ගමගේ ලහිරු සුභාෂිත බවට හඳුනාගෙන ඇත. අතුරුදන් වූ රශ්මි ලක්ෂිකා මෙන්ඩිස් තරුණිය සොයා මහියංගණය පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වියානා ඇළ දිගේ එහි පහළ කෙළවර වන දියබානා වැව දක්වා පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මීට සතියකට පමණ ඉහතදී ද මෙම ස්ථානයට මදක් ඉහළින් මෝටර් රථයක් වියානා ඇළට පෙරළී අනතුරක් සිදුව තිබීම විශේෂත්වයකි.
තරුණයාව බේරාගත් පොලිස් නිලධාරියාගේ බිරිඳ ‘මෙලෙස අදහස් දැක්වීය.
“අපි දෙන්නා කඩේට ගිහින් එද්දි අංකල් කෙනෙක් කෑ ගහනවා ඇහුණා. අපි බලද්දි ඔළුවක් උඩ එනවා යට එනවා දක්කා. මම හස්බන්ඩ් කිව්වා කවුරු හරි යනවා කියලා. අපි දෙන්නා ත්‍රිවිල් එක නවත්තලා එහෙමම පැන්නා. අපිට පෙනුනේ පිරිමි ළමයා විතරයි. එයා ගොඩ එන්න ගොඩක් උත්සාහ කළා, ඒත් එන්න බැරි වුණා. මෙයා එතකොටම පැන්නා. මාත් වයර් රෝල අරන් පැන්නා. ඉක්මනට කොණ්ඩෙන් ඇදගෙන තමා ගොඩට ගෙනාවේ. එයාගේ ඇස් උඩගිහින් නමුත් සිහිය තිබුණා. මගේ අම්මා තමා එයාව ගොඩට ගෙනාවේ.
හස්බ්න්ඩ් පැන්නා එයාට තනියම පනින්න දෙන්න බැරි නිසා වයර් එකත් අරන් මාත් පැන්නා. සමහරු ගිලෙද්දි බදා ගන්නවා. එහෙම වුණානම් මෙයාව බේරගන්න බැරිවෙන නිසා මාත් පැන්නේ. අපේ ගෙදර වයරින් කර කර හිටියේ. දිග රෝලක් අපි ඒකත් අරන් තමා මෙතනින් යන ගමන් හිටියේ. කොහොම හරි ගොඩට ගත්තාට පස්සේ කිව්වා ගෑනු ළමයත් ගියා කියලා. එතකොට අපි ගිහින් බැලුවා ඒත් අපිට බොඩි එක හොයා ගන්න බැරිවුණා.”
දියේ ගිලී අතුරුදන්ව ඇති සිසුවියව විශ්වවිද්‍යාලයෙන් රැගෙන නිවසට ඇරලීමට යන අතරමග ඔවුන් මෙම අනතුරට ලක්ව තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් දිවි බේරාගත් තරුණයා මෙලෙස අදහස් දැක්විය.
“දියසෙවළ තියෙනවා නේ මම ලිස්සලා ගිහින් වැටුණා. එයා අත දැම්මා. එතකොට දෙන්නත් එක්කම ඇළට වැටුණා. මම කසාද බඳින්න ඉන්න කෙනා එයා. එයාව කැම්පස් එකෙන් අරන් හම්බන්තොට ගෙදරට ඇරලවන්න තමා ආවේ.”
Comments
Post a Comment
Your comment will be visible after approval