two-police-sergeants-who-killed-pregnant-woman-remanded

 ගැබිණි මුව දෙනකගේ දිවි තොරකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු, එළඹෙන අගෝස්තු මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් දුලාංජලී සිතුමිණී මහත්මිය නියෝග කර තිබේ. 



මකුල්ගස්වැව, හීනුග්ගල ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුවී ඇති අතර, හිරානේගම සහ මඩාටුගම පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

නඩුව නැවත විභාගයට ගන්නා දින, විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය මකුල්ගස්වැව පොලිසියට නියෝග කළාය.

ඝාතනය සඳහා යොදාගත් බවට සැකකෙරෙන පතොරම් තුවක්කු තුනක් සහ සැකකරුවන් ගමන්ගත් යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස නම් කර තිබේ. මෙම තුවක්කු දඹුල්ල සහකාර පොලිස් අධිකාරිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේ පොලිස් දෙපාර්තමේන්තු මට්ටමින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අත්අඩංගුවට පත් පොලිස් නිලධාරීන්, යම් උසස් පොලිස් නිලධාරියෙකුගේ උපදෙස් මත මෙම සත්ව ඝාතනය සිදුකළේද යන්න පිළිබඳව එමගින් අවධානය යොමුකර තිබීම විශේෂත්වයකි.

මීට අමතරව, අපරාධයට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයන් සිටීද යන්න පිළිබඳව මකුල්ගස්වැව පොලීසියත්, ගල්කිරියාගම වනජීවී කාර්යාලයත් වෙනම විමර්ශන දෙකක් පවත්වයි.



gossiplanka image 2