මුළු රටම කම්පාවට පත් කළ කහවත්තේ ඉමන්ත සුරන්ජන ඝාතනයේ සුලමුල බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් මේ වන විටත් හෙළි කර ගනු ලැබ හමාරය. එමෙන්ම සිද්ධියට සම්බන්ධ වූ ප්‍රධාන වෙඩික්කරුද මේ වන විට සිටින්නේ එම කොට්ඨාසයේ නිලධාරීන්ගේ රැඳවුම් භාරයේය. ඔහු එම කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහර මහෙස්ත්‍රාන් අධිකරණය එම කොට්ඨාසයට අවසර දී ඇත. සුරන්ජන ඝාතනය කළ තුවක්කුකරු
හැරුණු කොට තවත් පුද්ගලයන් සිවුදෙනකුද අදාළ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ ඉමන්ත සුරන්ජන ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේය.ඔවුන්ගෙන් හෙළි වූ කරුණු අනුව සුරන්ජන ඝාතනය මෙහෙයවා ඇත්තේ විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වූ හඳයා නමැත්තාය.සුරන්ජන ඝාතනය වූයේ ඉකුත් ජුනි මස 30 වැනිදාය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන ලද්දේ කහවත්ත පොලිසිය විසින්ය.
එහෙත් සුරන්ජන ඝාතනයට ඔහුගේ ඥාතීන් සහ ගම්වාසීන් චෝදනා එල්ල කරනුයේ කහවත්ත පොලිසියටමය. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න සුරන්ජන ඝාතනයේ විමර්ශන රත්නපුර කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයට භාර දුන්නේය.
සුරන්ජනගේ ඝාතකයන් සොයාගැනීම සඳහා කණ්ඩායම් පහක් පත්කරනු ලැබීය. එහෙත් ඒ කිසිදු කණ්ඩායමකට සුරන්ජන ඝාතනය කළ අය අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැත. මේ අතර රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරක් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කරනු ලැබීමෙන් ඉක්බිති එය බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ලබාදීමත් සමඟ සුරන්ජන ඝාතනයේ විමර්ශන එම කොට්ඨාසය විසින් අරඹනු ලැබීය. ඒ එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ උපදෙස් මතය. ඒ සඳහා
ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා ඇතුළු කණ්ඩායමක් සුරන්ජන ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නට වූයේ එතැන් පටන්ය. රාජ්‍ය බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාර්න් මුලින්ම අත්අඩංගුවට ගත්තේ සුරන්ජන ඝාතනයට යොදාගත් පජෝ ජීප් ඊයයි. නිලධාරීර්න් එම රථය අත්අඩංගුවට ගන්නා විටත් එහි පැහැය වෙනස් කර තිබූ අතර මීගොඩ ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබූ එම රථය සමඟ එහි වර්ණය වෙනස් කළ තීන්ත බාස්වරු දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි විය.
ඔවුන්ගෙන් කෙරුණු ප්‍රශ්න කිරීමේදී පෙජරෝ රථය වර්ණ ගැන්වීම සඳහා උපදෙස් ලබාදුන් හඳයාගේ සමීපතමයකු අත්අඩංගුවට ගැනීමට නිලධාර්න් සමත් වූ අතර ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු සුරන්ජන ඝාතනයට හඥයාගේ උපදෙස් මත සම්බන්ධ වූ ඔහුගේ සමීපතමයා මෝටර් රියක් සමඟ කොටු කර ගත හැකි විය.
විමර්ශනයේදී හෙළි වූයේ සුරන්ජන ඝාතනයෙන් පසු ඝාතකයන් ප්‍රවාහනය කර ඇත්තේ එම මෝටර් රථයෙන් බවය. හඳයාගේ සමීපතමයා එම ඝාතකයන් පාදුක්ක ප්‍රදේශයේ සිට ගලව්ලවත්තේ අවන්හලක් දක්වා ප්‍රවාහනය කිරීමෙන් පසු ඝාතකයන් නතර වී සිටියේ එම අවන්හලේය. නිලධාරීන් එම අවන්හල සොයා ගැනීමෙන් පසු එහි හිමිකරුද අත්අඩංගුවට ගත් අතර ඔවුන් සිවුදෙනාගෙන් කරන ලද දීර්ඝ විමර්ශනයෙන් පසු සුරන්ජන ඝාතනය කළ වෙඩික්කරු හඳුනාගනු ලැබීය.
එම හඳුනාගත් තොරතුරු බස්නාහිර උතුර කොට්ඨාසය විසින් පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත යොමු කරන ලද්දේ ඉන් අනතුරුවය. ඒ එම බළකාය සතුව ඇති තාක්ෂණ ක්‍රමවේදයන් නිසාය. එම ක්‍රමවේද ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයට, රහස් පොලිසියට සහ විශේෂ කාර්ය බළකායට පමණක් බව කියයි. බස්නාහිර උතුරින් තොරතුරු ලබාගත් විශේෂ කාර්ය බළකාය අදාළ තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයත් සමඟ සම්බන්ධ කර ගනිමින් සුරන්ජන ඝාතනයේ වෙඩික්කරු රැඳී සිටි ස්ථානය සොයා ගත්තේය. නිලධාරීන්ට පෙනී ගියේ ඔහු බණ්ඩාරවෙල ප්‍රදේශයේ
කාන්තාවක් සමඟ සැසරන බවය. නිලධාර්න් ඒ ඔස්සේ පන්නමින් සිටියදී සැකකරු කොළඹට පැමිණෙමින් සිටින බව පෙනී ගියේය. ඒ අනුව කොළඹට පැමිණෙමින් සිටි සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමෙන් පසු ඔහු සුරන්ජන ඝාතනයේ වෙඩික්කරු බව තහවුරු විය.
සුරන්ජන ඝාතනයේ සුලමුල සොයා ප්‍රශ්න කිරීම ඇරැඹුණේ එතැන් පටන්ය. වසර 18ක කාලයක් යුද හමුදාවේ රාජකාරී කළ තුවක්කුකරු විනය විරෝධී ක්‍රියාවක් මත ඉන් පහකරනු ලැබීය. දරුවන් දෙදෙනකුගේ පියකු වන ඔහුගේ උපන් ගම පාදුක්කේය. පසුව ඔහු රඹුක්කන ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබිණි. කිසියම් අපරාධමය චෝදනා අනුව රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහුට හඳයාගේ සමීපතමයා හඳුනාගන්න ලැබෙන්නේ ඔය අතරය. දෙදෙනාගේ ඇසුර රක්ෂිත බන්ධනාගාරයෙන් ඇප මත පැමිණීමෙන් පසුද නොවෙනස්ව තිබිණි. ඒ ඔස්සේ හඳයා හඳුනාගැනීමට මෙම හමුදා සෙබළාට අවස්ථාව උදා ඇත. පසුව හදයා සමඟ සමීප සබඳකමක් ඇති කරගත් මොහු හඳයාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී ඇති අතර ඒ සඳහා හඳයා විසින් සුසුකි වර්ගයේ ජීප් රියක්ද ඔහුට ලබාදී තිබුණේය. එම රථය මොඩිෆයි කොට සකස් කර තිබූ අතර ඊට පොලිසියේ අවධානය අඩු වීම නිසා කිසිදු කරදරයක් නැතිව ඔහු එම රථයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කර ඇතැයි විමර්ශන නිලධාහු කීහ. ඉකුත් ජුනි මස 30 වැනිදා හඳයාගේ සමීපතමයකු විසින් මොහු පාදුක්ක ප්‍රදේශයට රැගෙන ගොස් ඇත්තේ හඳයාගේ උපදෙස් මතය.
“මම ඔය මොකුත් දන්නේ නැහැ සර්. මම හිතුවේ පතලක් හාරන්න යනවා කියලා. සැකකාර සෙබළා නිලධාරීන්ට කීවේය. එය සාවද්‍ය බව නිලධාහු දැන සිටියහ.ඔහු පාදුක්කට යන විටත් සුරන්ජන ඝාතනයට යොදාගත් නිල් පැහැති පෙජරෝ රථය එම ස්ථානයේ නතර කර තිබිණි. රථයේ ඉදිරිපස අසුනේ සිටියේ රැවුල වවාගත් අයෙකි. රියැදුරා ඔහුගේ අසුනේ සිටියේය. හඳයාගේ සමීපතමයාගේ උපදෙස් මත හමුදා සෙබළාද ජීප්රියට නැඟ ගත්තේය. මොහොතකට පසු තවත් දෙදෙනෙක්ද ඊට ගොඩ වූහ. ඔවුන් සියල්ල රැගත් රථය කහවත්ත බලා ධාවනය වී ඇත්තේ ඉන් පසුවය.
(කීර්ති මෙන්ඩිස්)
Comments
Post a Comment
Your comment will be visible after approval