
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මෙන්ම හිටපු සභාපති චම්පික නිලන්ත මහතා සිය බිරිය හා වැඩිමහල් දියණිය ඝාතනය කර සියදිවි හානිකරගෙන ඇති අතර, මෙම සිද්ධිය පිටුපස මූල්‍ය ගැටලු හා දැඩි ආර්ථික පීඩන පැවති බව පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ.
ඊයේ (29) අලුයම සිදුවූ මෙම ඝාතන සහ සියදිවි හානිකරගැනීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සඳහන් කළේ චම්පික නිලන්ත මහතා සිය බිරිඳ දිල්රුක්ෂි ජයලත් කුමාරගේ (45) සහ වැඩිමහල් දියණිය ශිහාරා ආශිංසනී හපුගොඩ (17) යන දෙදෙනා ඝාතනය කර, පසුව දෙමහල් නිවසේ පිටත බාල්කයක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බවයි.
පොලිස් පරීක්ෂණවලට අනුව, විපක්ෂ නායකවරයා සිය බිරිඳට හා වැඩිමහල් දියණියට නිදිපෙති වර්ගයක් බීමට දී, ඔවුන් නින්දට ගිය පසු ගෙල වයරයකින් සිරකර ඝාතනය කර ඇත. දියණිය නිවසේ කාමරයක ඇඳක් මත ද, බිරිඳ ඇඳ පාමුල ද සිටියදී මේ ඝාතන සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
එමෙන්ම, චම්පික නිලන්ත මහතා සිය බාල දියණිය නෙත්මි මලිංෂා හපුගොඩ (12) ද ඝාතනය කිරීමට සැලසුම් කර ඇතත්, එය ව්‍යර්ථ වී ඇත. බාල දියණිය පොලීසියට පවසා ඇත්තේ, පියා තමන්ට ද යම් පෙති වර්ගයක් පානය කිරීමට දුන් බවත්, අලුයම් කාලයේ තම ගෙල සිර වන බවක් දැනීමෙන් අවදි වූ තමාට, වයරයක් අතැතිව සිටින පියා දැක ගැනීමට හැකි වූ බවත්, ඒ අවස්ථාවේ පියා තමාව බදා ගනිමින් හැඬූ බවත්ය.
දැරිය වැඩිදුරටත් පවසා ඇත්තේ, ඉන්පසු පියා නාන කාමරයට යන බව පවසා පිටව ගොස් ඇති අතර, මඳ වේලාවකට පසු ගෙරවිලි ශබ්දයක් තමාට ඇසුණු බවත්, එහි ගොස් බැලීමේදී පියා එල්ලී සිටින ආකාරය දැක ගන්නට ලැබුණු බවත්ය.
විපක්ෂ නායකවරයා විසින් තමා මෙසේ සිය අඹුදරුවන් මරාගෙන මැරෙන්නට මුල් වූ හේතුව සවිස්තරාත්මක ලිපියක සටහන් කර තිබී ඇත. එම ලිපිය නිවෙසේ තිබී පොලීසියට හමුවී තිබේ. එහි සඳහන් වන්නේ මහනුවර ව්‍යාපාරිකයකුගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 50ක ණය මුදලක් ආපසු ගෙවීමට නොහැකිව විශාල පොලී මුදලක් එකතුවීම මත එම ව්‍යාපාරිකයා නිතර තර්ජනය කිරීමේ සිද්ධියක් මේ සියදිවි හානිකරගැනීමට හා ඝාතනයට සම්බන්ධ බවයි.
එමෙන්ම, චම්පික නිලන්ත මහතා ඔහු සතු මෝටර් රථය විකුණා පොලියට මුදල් ලබාගත් ව්‍යාපාරිකයාට පසුගිය මාර්තු මාසයේදී ලක්ෂ 15ක පමණ මුදලක් ලබා දී තිබෙන බවත්, එම මුදල ලබාදීමට සිදුව ඇත්තේ ඔහුට එරෙහිව ව්‍යාපාරිකයා පොලීසියට කළ පැමිණිල්ලක් මුල්කරගෙන බවත් වාර්තා වේ.
තවද, සිය අඹුදරුවන් මරා තමා ද සියදිවි හානිකර ගැනීමට තරම් මානසික පීඩාවක් තමාට එල්ල කළ අය ගැන පවා ලිපියෙහි සඳහන් කර ඇති අතර, ඔහු මේ සම්බන්ධයෙන් බරපතළ ලෙස චෝදනා එල්ල කර ඇත්තේ (දැනට මියගොස් සිටින) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ව්‍යාපාරික ඥාති සහෝදරයකු වෙතය.
තමාට එරෙහිව එල්ල කළ ව්‍යාජ අපරාධ චෝදනාවක් ගැන මෙන්ම, එම චෝදනාවෙන් ගලවා ගැනීමට නීතිඥවරයෙක් විසින් මහනුවර පොලිස් ප්‍රධානියකුට සහ මහනුවර විශේෂ පොලිස් අංශ ස්ථානාධිපතිවරයකුට ලබාදීමට රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගැනීමක් ගැන ද එම ලිපියෙන් හෙළි කර ඇත.
ඝාතනයට ලක් වූ 17 හැවිරිදි දියණිය සුදු කබර රෝගයෙන් (වතු කරවිල රෝගය) පීඩා විඳ සිට ඇති බවත්, ඉන්දියාවට රැගෙන ගොස් ඇයට ප්‍රතිකාර ලබාදීමේ දැඩි වුවමනාවක් විපක්ෂ නායකවරයාට තිබී ඇති බවත් දැනගන්නට තිබේ. ව්‍යාපාරිකයාගෙන් එල්ල වූ දැඩි පීඩනය සහ තර්ජනය කිරීම් ඇතුළු මූල්‍ය ගැටලු හේතුවෙන් ඔහු ඒ සම්බන්ධයෙන් ද දැඩි කනස්සල්ලෙන් පසු වූ බව ලිපියේ සඳහන් කර තිබෙන බව පොලීසිය පවසයි.
මියගිය චම්පික නිලන්තගේ වැඩිමල් සහෝදරයාගේ දියණිය වන මිනෙල් හපුගොඩ මෙසේ පැවසුවාය: "මියගිය බාප්පා පවුලේ අය සමඟ ඉතාම ආදරයෙන් හිටියා. එයා අපි හැමෝටම හරිම ආදරෙයි. පසුගිය දිනවල බාප්පා ලොකු පීඩනයකින් තමයි හිටියේ. මගේ බාප්පයි පුංචියි ලොකු නංගියි තුන්දෙනාම නැති වුණා. බාප්පා මට අන්තිමට හමුවුණේ ගිය සතියේ. මගේ උපාධි ප්‍රදානෝත්සවයේදී එයාට මොනවා හරි ප්‍රශ්නයක් තිබුණා. මොනවා හරි කළ බිස්නස් එකක් සම්බන්ධව එයාට කවුරුහරි තර්ජනය කළ ප්‍රශ්නයක් තිබුණා. ඒ ගැන කනස්සල්ලෙන් හිටියේ."
මියගිය චම්පික නිලන්තගේ සහෝදරයකු වන ලක්ෂ්මන් කුලතුංග මහතා පැවසුවේ: "මම උදේ 6.20ට විතර චම්පිකගේ ගෙදරට ආවා. පස්සේ මම දැක්කා චම්පික ගෙල වැලලාගෙන ඉන්නවා. පසුව මම නිවෙසේ උඩුමහලට යන විට උඩුමහලේ ඇඳක් උඩ දුව උඩුබැලි අතට වැටිලා ඉන්නවා දැක්කා. මම හයියෙන් කෑගැහුවා. මම දැනගත්තා දුවත් මියගිහින් කියලා. චම්පිකගේ නෝනා ඇඳක් යට ඉන්නවා දැක්කා. ඇත්තටම අපට මේ සිදුවුණු දේ ගැන හිතා ගන්නවත් බැහැ."
චම්පික නිලන්ත මහතාගේ බාල දියණිය නෙත්මි මලිංෂා හපුගොඩ (12) සිද්ධිය වූ දිනට පෙරදින (28) කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අධ්‍යාපන චාරිකාවක ගොස් තිබේ. එදින රාත්‍රියේ විදුහලෙන් නිවෙසට රැගෙන ආවේ ද ඇගේ පියා විසිනි. ඒ වනවිටත් ඔහු බිරිඳ හා අනෙක් දියණිය ඝාතනය කර තිබූ බව පොලීසිය සඳහන් කරයි.
උදෑසන අවදි වූ බාල දියණිය සිය මව සහෝදරිය ඝාතනය කර ඇති බව දැක කෑ ගසා ඇති බවත්, ඒ අනුව අසල්වාසීන් පැමිණ පරීක්ෂා කිරීමේදී විපක්ෂ නායකවරයා සියදිවි හානි කරගෙන ඇති බව දැක පොලීසියට ඒ ගැන දැනුම් දී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිස යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ද කලක් හෙබවූ චම්පික නිලන්ත මහතා පසුව සමගි ජනබලවේගය හා එක්විය. පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ඒ මහතා කොට්ඨාසය ජයග්‍රහණය කරමින් යටිනුවර ප්‍රාදේශීය සභාවට තේරී විපක්ෂ නායක ධුරයට පත්විය.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යන ලදි. ජීවිතය බේරාගත් දහතුන් හැවිරිදි දියණිය මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී. ඔවුන් විසින් මියගිය චම්පික නිලන්ත මහතා ලියා තැබූ ලිපිය මෙන්ම අදාළ ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කරමින් පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යනු ලැබේ.



Comments
Post a Comment
Your comment will be visible after approval