tele-actor-who-was-bribed-to-stop-bribery-allegations-remanded

 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විභාග වන පැමිණිලි වසා දැමීමට බලපෑම් කළ හැකි බව පවසා අල්ලස් ඉල්ලූ බවට චෝදනා ලැබූ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලබන අගෝස්තු මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කළේය. දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි විනෝද් තරංග නැමැති මෙම රංගන ශිල්පියා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



සැකකරු, අකුරේගොඩ ගුවන් හමුදා කඳවුරක නිලධාරියෙකුගෙන් සහ මතුගම ප්‍රසිද්ධ ජාතික පාසලක විදුහල්පතිනියකගෙන්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල භාවිත කරමින් ඔවුන්ට එරෙහි පැමිණිලි ඉවත් කර දෙන බව පවසා රුපියල් 30,000 බැගින් අල්ලස් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය. එම මුදල් බැංකු ගිණුමකට බැර කරන ලෙස සැකකරු දැනුම් දී ඇති අතර,

පැමිණිලිකරුවන් ලබා දුන් තොරතුරු මත සැකකරු කටුකුරුන්ද මංසන්ධියේදී අත්අඩංගුවට ගත් බවද කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, උගත් බුද්ධිමත් පැමිණිලිකරුවන් විසින් මෙවැනි විය නොහැකි, අභව්‍ය සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම පුදුමයට කරුණක් බව පවසමින් සිය සේවාදායකයා චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, මව සමඟ ජීවත් වන ඔහුට ඇප ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය, සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනවල ප්‍රගතිය ලබන 05 වන දා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට වැඩිදුරටත් නියෝග කළාය.