police-sergeant-who-killed-pregnant-deer-tied-to-trees-in-village

 හීනුග්ගල ප්‍රදේශයේදී ගැබිනි මුවදෙනකගේ ඝාතනයකට සම්බන්ධ බවට සැකකෙරෙන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු, ප්‍රදේශවාසී තරුණයන් විසින් අත්අඩංගුවට ගෙන ගස් බැඳ මකුළුගස්වැව පොලීසියට භාර දී තිබේ. මෙම සිදුවීමත් සමඟ වනජීවී නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත් බව වාර්තා වේ.





මෙම සිදුවීම වාර්තා වන්නේ ඊයේ (25) අලුයම 3.45ට පමණ ගල්කිරියාගම, හීනුග්ගල රක්ෂිතය දෙසින් ඇසුණු වෙඩි ශබ්දයක් සමඟිනි. ඒ පිළිබඳව සෙවීමට ගිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විදුලි පන්දම් දැල්වීමත් සමඟ එම ස්ථානයේ තිබූ වාහනයක් පළා ගොස් ඇත. අනතුරුව, කැළෑවේ සැඟවී සිටි යතුරුපැදියක පැමිණි පුද්ගලයන් තිදෙනෙකු තරුණයන් විසින් අල්ලාගෙන ප්‍රශ්න කිරීමේදී, වෙඩි තැබූ මුවදෙනගේ සිරුර රැගෙන යාමට පැමිණි බව ඔවුන් පිළිගෙන තිබේ.

අනතුරුව තරුණයන් විසින් සැකකරුවන් තිදෙනා ගස් බැඳ, ගල්කිරියාගම වනජීවී කාර්යාලයට සහ මකුළුගස්වැව පොලිසියට දැනුම් දී ඇත. එම ස්ථානයට පැමිණි ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වනසත්ව නියාමක සඳුන් හේමනායක මහතා ඇතුළු නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් අතර විමර්ශන භාර ගැනීම සම්බන්ධයෙන් මතභේදයක් හටගෙන ඇත.

මෙය වනජීවී පනත යටතේ වන වරදක් බැවින් සහ සැකකරුවන් පොලිස් නිලධාරීන් වන බැවින්, විමර්ශනය සඳහා ඔවුන් තමන් වෙත භාර දෙන ලෙස වනජීවී නිලධාරීන් පොලීසියෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීමට පොලිස් නිලධාරීන් දැඩි අකමැත්තක් පළ කළ අතර, අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බවට ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන්ගේ සහ වනජීවී නිලධාරීන්ගේ දැඩි බලපෑම හමුවේ, සැකකාර පොලිස් සැරයන්වරුන් දෙදෙනා සහ අනෙක් පුද්ගලයා, ඔවුන් පැමිණි යතුරුපැදිය සහ ඝාතනයට ලක්වූ මුවදෙනගේ සිරුර ද සමඟ මකුළුගස්වැව පොලිසිය වෙත රැගෙන යාමට පියවර ගැනිණි.