teachers-mothers-servant-hrithik-turned-off-the-lights-and-kissed-her-touching-her-private-parts

 බහුවිධ කතාබහට ලක්වූ "ටීචර් අම්මා" හෙවත් හයේෂිකා ප්‍රනාන්දු මහත්මියගේ වෘෂණ කෝෂ ප්‍රහාරයකට ගොදුරුවූ 19 හැවිරිදි රිතික් ක්‍රිෂාල් අගලවත්ත නමැති සැකකරු එම උපකාරක පන්ති ආයතනයේ සේවය කළ තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා, එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට නියෝගයක් නිකුත් කළාය.



ඊයේ (16) දින ප්‍රථම වරට මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරු, රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මීට පෙර මෙම සැකකරු ඩෙංගු රෝගය සඳහා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, පසුව පසුගිය මැයි මස 17 වන දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයකු විසින් ඇප මත මුදා හැරීමට නියෝග කර තිබිණි.

අගතියට පත් 24 හැවිරිදි තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු දක්වමින්, පසුගිය මැයි මස 06 වන දින රාත්‍රී 9.30ට පමණ සැකකරු විසින් තමන් සේවය කළ කාමරයේ විදුලිය විසන්ධි කර, තරුණියගේ අතින් ඇද ඇගේ රහස්‍ය ප්‍රදේශ ස්පර්ශ කරමින් සිප ගැනීමට උත්සාහ කළ බව පෙන්වා දුන්හ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ආයතන බලධාරීන් සමග කටාන පොලිසියට පැමිණිලි කළද, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා නොකළ බවද නීතිඥවරු අධිකරණයට දැන්වූහ.

කටාන පොලිසියේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවන බවට විශ්වාස කළ අතවරයට ලක්වූ තරුණිය, ළමා හා කාන්තා කාර්යාංශයට සහ වැඩබලන පොලිස්පතිවරයාට කරන ලද පැමිණිලිවල ප්‍රතිඵලයක් ලෙස විමර්ශන කටාන පොලිසියෙන් ඉවත් කර තිබේ.

දැනට මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින මෙම විමර්ශන කඩිනම් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා, නීතිඥ ගීත්මා ප්‍රනාන්දු සහ නිරෝෂන් සිරිවර්ධන ඇතුළු නීතිඥ මඩුල්ලක් සමග පෙනී සිටිමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම නඩුවේදී සැකකාර තරුණයා වෙනුවෙන් නීතිඥ රන්ජන් ජයසිංහ මහතා පෙනී සිටි අතර, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙනුවෙන් පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ සහ පොලිස් කොස්තාපල් උදය කුමාර යන නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ. අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරමින් නීතිඥ චාන්දනී දයාරත්න සහ නීතිඥ ආශා රත්නායක යන මහත්මීහු ද නීතිඥ මණ්ඩලයට ඇතුළත් වූහ.