ඊලෝන් මස්ක්ගේ සමාගමක් විසින් මෙහෙයවනු ලබන චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවක් වන ස්ටාර්ලින්ක් (Starlink), දැන් ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් දියත් කර තිබේ. වහලේ සවිකරන සැටලයිට් ඩිෂ් උපකරණයක් ඔස්සේ රවුටරයකට සංඥා ලබාගන්නා මෙමගින් ගෘහස්ථ සහ ව්‍යාපාරික යන දෙඅංශයේම පරිශීලකයින් සඳහා අධිවේගී අන්තර්ජාල ප්‍රවේශය හිමිවනු ඇත.
මෙම සේවාව හරහා, විශේෂයෙන්ම දිවයින පුරා පිහිටි ග්‍රාමීය සහ අන්තර්ජාල පහසුකම් අඩු ප්‍රදේශවල පවතින සම්බන්ධතාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගෘහස්ථ පරිශීලකයින් සඳහා වන ‘රෙසිඩන්ෂල් ලයිට්’ (Residential Lite) පැකේජය මසකට රුපියල් 12,000ක් ලෙසත්(speed 45 - 130 Mbps) , ‘රෙසිඩන්ෂල්’ (Residential) පැකේජය මසකට රුපියල් 15,000ක් ලෙසත්(speed 100 - 270+ Mbps) මිල නියම කර ඇත. මේ සඳහා අවශ්‍ය මූලික උපකරණ කට්ටලයේ (Standard Kit) මිල රුපියල් 118,000කි. ඒ අනුව, ‘ලයිට්’ පැකේජය සඳහා වන ආසන්න ආරම්භක පිරිවැය රුපියල් 130,000ක් වන අතර, ‘රෙසිඩන්ෂල්’ පැකේජය සඳහා රුපියල් 133,000ක ආරම්භක පිරිවැයක් දැරීමට සිදුවේ.
දත්ත Unlimited ය.
කෙසේ වෙතත් ඇතැම් තෝරාගත් රටවලට (පේරු) උපකරණ හා සවිකිරීමේ ගාස්තු අය කිරීමෙන් නිදහස් කර ඇති අතර සමාගම මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි සහනයක් ලබාදී නැත.
මෙම සේවාව ප්‍රීපෙඩ් ක්‍රමයට භාවිත කළ හැකි අතර ඉහත ගාස්තු අනුව වරින්වර මුදල් දමා සක්‍රීය කරගත හැකිය.
ව්‍යාපාරික පැකේජ යටතේ ‘ප්‍රයෝරිටි 40GB’ (Priority 40GB) සඳහා මාසිකව රුපියල් 24,100ක්, ‘ප්‍රයෝරිටි 1TB’ (Priority 1TB) සඳහා රුපියල් 63,200ක් සහ ‘ප්‍රයෝරිටි 2TB’ (Priority 2TB) සඳහා රුපියල් 127,000ක මාසික ගාස්තුවක් අය කෙරේ. මේ සඳහා අවශ්‍ය ඉහළ කාර්යසාධනයක් සහිත උපකරණ කට්ටලය (Performance Kit) රුපියල් 911,000කට මිල කර ඇති අතර, 40GB පැකේජය ලබාගැනීමේ මූලික පිරිවැය රුපියල් 929,300ක් වේ.
අන්තර්ජාල සබඳතා සඳහා සංඥා දුර්වල ප්‍රදේශවල තරු පන්තියේ හෝටල වලට මෙවැනි සේවවන්ගෙන් වාසිදායක සේවයක් ලබාගත හැකිය.
මෙම සේවාව ලබාගැනීමේදී දීර්ඝකාලීන ගිවිසුම්වලට එළඹීම අවශ්‍ය නොවන අතර, ඇණවුම් කරනු ලබන උපකරණ සති එකක් හෝ දෙකක් ඇතුළත පාරිභෝගිකයා වෙත ලැබෙනු ඇත. දින 30ක අත්හදා බැලීමේ කාලසීමාවක් ද මේ සඳහා හිමිවන අතර, දැනටමත් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි සේවාව ලබා ගත හැකිය.
ස්ටාර්ලින්ක් සේවාව ඇණවුම් කිරීම සඳහා, starlink.com වෙබ් අඩවියට පිවිසී, ඔබගේ ස්ථානය ඇතුළත් කළ යුතුය. ඉන්පසු, ගෘහස්ථ හෝ ව්‍යාපාරික යන කාණ්ඩ අතුරින් තමන්ට අවශ්‍ය පැකේජය සහ උපකරණ තෝරාගෙන, ගෙවීම් කිරීමෙන් ඇණවුම සම්පූර්ණ කළ හැකිය.
ස්ටාර්ලින්ක් සේවාවේ ශ්‍රී ලංකා ආගමනය, දිවයින පුරා අන්තර්ජාල ප්‍රවේශය පුළුල් කරමින් සහ පවතින සම්බන්ධතා හිඩැස් පියවමින්, සන්නිවේදන ක්ෂේත්‍රයේ වැදගත් පෙරළියක් සිදු කරනු ඇතැයි විශ්වාස කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval